ටෙලිකොම් ලාංඡනය සහිත ස්ටිකර් තම වෑන් රථයේ අලවා මීගමුව ප්‍රදේශයේ වැඩිමිලට විකිණීමට අරක්කු, සහ බීර ප්‍රවාහනය කළ ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් කොච්චිකඩේ පොලිසිය විසින් තෝප්පුව මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගනු ලැබූහ.


කෝවිඩ් ඇඳිරිනීතිය ගම්පහ දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වෙද්දී අදාළ වෑන් රථය ටෙලිකොම් ආයතනයේ  රාජකාරි කටයුතු සඳහා ගමන් ගන්නා වෑන් රථයක් බව අඟවමින් කොච්චිකඩේ නගරයට ඇතුළු වීමට තැත් කර ඇත. කොච්චිකඩේ තෝප්පුව මාර්ග බාධකයේදී වෑන් රථය පොලිස් නිළධාරීන් විසින් නතර කර පරීක්ෂාවට ලක්කර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ වෑන් රථයේ රියැදුරු බීමනින් පසුවන බවත් ඔහුට වලංගු රියදුරු බලපත්‍රයක් නැති බවත්ය. වෑන් රථය ටෙලිකොම් සමාගමට අයත් නොවන බවත් එහි ටෙලිකොම් නමැති ලාංඡනය අලවා ඇත්තේ වංචනිකව බවත් අනාවරණය වී ඇත.

වෑන් රථය තවදුරටත් පරීක්ෂා කිරීමේදී වාහනය තුළ සඟවා තිබූ රජයේ අනුමත අරක්කු බෝතල් 70ක්, ලෙමන් ජින් බෝතල් 12ක් සහ බීර කෑන් 103ක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු යොදා ඇත.
(මීගමුව ඩබ්ලිව්.කීර්ති)