කෝට්ටේ, රාජගිරිය බුත්ගමුව පාර H.S.B.C. බකු ගොඩනැගිල්ලට මුහුණලා ඇති චන්ද්‍රා ද සිල්වා ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කර ග්‍රහලෝකාගාරයක් සහිත බහු කාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද දෙකකින් සම්මත විය. කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති අයි.එම්.වී. ශාන්ත ප්‍රේමලාල් පසුගිය 07 වැනිදා කෝටිටේ මහ නගර සභාවේ රැස්වීම නගර සභා සුභසාධක ශාලාවේදී නගර සභා රැස්වීම පැවැත්විණි.  එහිදී අති ෙර්ක න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කරමින් නගරාධිපතිවරයා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කරන ලදී. අනතුරුව අදභස් දැක්වූ කෝට්ටේ මහ නගර සභාවේ එ.ජා.ප කණ්ඩායමේ නායක චන්දිම නයනජිත් මහතා පවසා සිටියේ මෙම යෝජනාවට තමන් තරයේ විරුද්ධ බවයි.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,


" 1996 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කර නගරාධිපති චන්ද්‍රා ද සිල්වා මහතාගෙන් කෝට්ටේ ජනතාවට ක්‍රීඩාංගණයක් නොමැති නිසා 1994 වර්ෂයේ රැගෙන ආ යෝජනාවට සියලු මන්ත්‍රීවරු එකගතාව පළ කර මෙය ඉදි කළා. ඒ අනුව 1996 සිට 2004 දක්වා මෙම ක්‍රීඩා පිටිය මගින් දක්ෂ පාපන්දු ක්‍රීඩකයන් රැසක් බිහි වූවා. ඒහෙත් 2004 වර්ෂයේ රවී කරුණානායක  අමාත්‍යවරයා මෙම ක්‍රීඩා පිටිය අහිමි කර පෞද්ගලික බැංකුවක් ස්ථාපනය කළ අතර  බැංකුව අසල අක්කර 3ක ඉඩම නැවත මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමට සැලසුම් කර 2019 වර්ෂයේදී නාගරික සංවර්ධන අධිකාරිය  විසින් මිලියන 30ක් ලබා දී මෙම වසර අවසානයේ නැවත ක්‍රීඩා පිටිය ආරම්භ  කිරීමට තිබියදී එය නතර කිරීමට පියවර ගැනීම සම්බන්ධව විපක්ෂ කණ්ඩායම තරයේ හෙළා දකිනවා.” යැයිද පවසා සිටියේය. ප්‍රභාත් විද්‍යාපති (ශ්‍රීල.නි.ප) අදහස්  දක්වමින් මෙසේ පැවසීය.


" මම කෝට්ටේ මහ නගර සභාවේ ක්‍රීඩා කමිටුවේ ලේකම් වශයෙන් නගරාධිපතිවරයා  ගෙන ආ මෙම යෝජනාව හෙළා දකිනවා. දක්ෂ පාපන්දු ක්‍රීඩකයන් මෙම ක්‍රීඩාංගණය බිහි කර තිබෙනවා.
මෙම ක්‍රීඩාංගණය අහිමි කිරීම නිසා ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරිමට පිටකෝට්ටේ හෝ අංගම්පිටිය ක්‍රීඩාංගණයට යාමට සිදුවනවා. ඒවායේ ජන සංයුතිය වැඩි නිසා ගමේ මිනිසුන්ට ක්‍රීඩා කිරීමට අපහසුයි. ඒ නිසා මේ සඳහා  විරුද්ධ වන ලෙස නගර සභා සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. යෝජනාව සම්මත වුවහොත් කෝට්ටේ නගරයට ක්‍රීඩාංගණයක් අහිමි වෙනවා".


අනතුරුව මේ සඳහා ඡන්ද විමසීමක් පැවති අතර එහිදී කෝටිටෙි මහ නගර සභා මන්ත්‍රීවරු 38දෙනාගෙන් පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 19දෙනෙකු ක්‍රීඩා පිටිය අහිමි කරන යෝජනාවට පක්ෂව ඡන්දය දුන් අතර විපක්ෂය නියෝජනය කරන (එ.ජා.ප මන්ත්‍රීවරු 10 (ශ්‍රී.ල.නි.ප) 04 ජවිපෙ 03 මන්ත්‍රීවරු 17ක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.  ඒ අනුව යෝජනාව වැඩි ඡන්ද 02කින් සම්මත විය. කෝට්ටේ මහ නගර සභාවේ උපනගරාධිපති ප්‍රේමලාල් අතුකෝරාළ සහ (ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී ධනුක සිල්වා ඡන්දය දීමෙන් වැළකී සිටියහ.