කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයීය රෝබෝ සංසඳයේ සිසුන් තිදෙනකු විසින් කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ කොවිඩ් වාට්ටුවේ වෛද්‍යවරුන්ගේ අවදානම අවම කිරීමට රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කර ඇත.  මෙමගින් දුර සිට රෝගියා සමගින් සන්නිවේදනය වෙමින් රෝගී තත්ත්වය පිරික්සීමට මෙන්ම රෝගියා දෙස බලා සුවදුක් විමසීමට ද හැකි අයුරින් රොබෝ යන්ත්‍රය නිපදවා තිබිණ. එමෙන්ම එම යන්ත්‍රය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් ද අනූන නිසා රෝගියා ඇදේ සිටියදීම එහි සවිකොට ඇති ස්වංක්‍රීය කැමරා පද්ධතියෙන් රෝගියාගේ ඇඳ වටා වෛද්‍යවරයා අතැති දුරස්ථ පාලකයකින් ධාවනය කරවමින් රෝග ලක්‍ෂණ හඳුනා ගැනීමට ද පහසුකම් ඇත. තව ද රෝගියා සමගින් සුවදුක් විමසා කතාබස් කිරීමට ද රොබෝවරයා විසින් තාක්‍ෂණික පහසුකම් සලසා තිබීම විශේෂත්වයකි.



එමෙන්ම වෛද්‍ය කාර්ය මණ්ඩලයට මෙන්ම හෙද කාර්ය මණ්ඩලයට ද අදාළ රොබෝ යන්ත්‍රානුසාරයෙන් රෝගියා වෙත යවා කරන ලද රෝග විනිශ්චය අනුව වෙද්‍යවරුන් නියම කරන ලද බෙහෙත් වට්ටෝරු ඇඳ අංකයට සමානව එම යන්ත්‍රයේ නිමවා ඇති කුටි මගින් රෝගියා අතටම පත් කරවීමේ හැකියාව ද පවතින අයුරින් නිෂ්පාදනය කරවීමට අදාළ සිසුන් පියවර ගෙන තිබිණ.  මේ සඳහා රුපියල් ලක්‍ෂයකට ආසන්න මුදලක් වැයවී ඇති බව පවසන ඔවුන් එහි අන්තර්ජාල සබඳතා වෙනුවෙන් සියලු අනුග්‍රහය මොබිටෙල් ආයතනයෙන් ලබා දී තිබූ බවත් සෙසු කටයුතු සඳහා විද්‍යාලය මගින් මෙන්ම ආදි ශිෂ්‍ය සංගමය මගින් අනගි අනුග්‍රහයක් ලබාදුන් බවත් පැවැසු එම සිසු දරුවන් තිදෙනා අදාළ වියදම් ලබාදෙන්නේ නම් අනෙකුත් රෝහල් සඳහා ද දායකත්වය සැපැයීමට සුදානම් බව ද ඔවුහු පැවැසූහ.  


සියතින් නිර්මාණය වූ අධිතාක්‍ෂණික  මෙවලම පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් සිසු දරුවන් කියා සිටියේ විදුහලේ තවත් තම සංගමය නියෝජනය කරන සිසු සිසුවියන් විශාල ප්‍රමාණයක් සිටින බවත් ආරම්භක අවධියේ පටන් විද්‍යාලයට කීර්තිනාමයන් රැසක් දායාද කිරීමට එමගින් හැකියාව පැවැති බවත්ය. එමෙන්ම රොබෝටික් සංසද යන්න
පැවැසු පමණින් තම විදුහලේ නම පිළිබඳ කොයි කා අතරත් පැසසීමට ලක්වෙමින් තිබියදී ඉකුත් කාලසීමාවේ  එම අවස්ථා ගිලිහි ගිය ද යළිත් මෙවැනි සහයෝගයක් විද්‍යාලයීය ආදි සිසු සිසුවියන් සමගින් විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් සපයාදීමෙන් සිසුන් අතර ඒ පිළිබඳ තිබූ  උද් ෙයා්ගය වර්ධනය වෙමින් පවතින බව ද පවසමින් එම ශිෂ්‍යයි කණ්ඩායම ඉල්ලා සිටියේ නව ලොව ගමන් කරන තාක්ෂණික ලෝකය ජය ගන්නට විද්‍යාලයීය රොබෝ සංසදය සමග එක්වන ලෙසයි.


කෙසේ වෙතත් අඳාළ රොබෝ යන්ත්‍රය  කුලියාපිටිය ශික්ෂණ රෝහලට ලබාදීමට මත්තෙන් එහි ක්‍රියාකාරිත්වයේ පෙරහුරුවක් රෝහල් අධ්‍යක්‍ෂ ප්‍රභාත් වේරවත්ත මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමට ඉදිරිපත් කර අදහස් යෝජනා ගෙන ඒ අනුව යන්ත්‍රයේ යම් යම් සංශෝධන සිදුකරවීමටත් අපේක්ෂා කළත් එහි කිසිදු සංශෝධනයක්  නොකිරීමට තරම් සුවිශේෂී අන්දමින් සකසා ඇතැයි විදුහල්පති බී.සී.එස්. විජේසිංහ මහතා පැවැසීය.