කුලියාපිටිය නගරයට ඉකුත් 20 දා නිරෝධායන ඇදිරිනීතිය බලපැවැත්වීමත් සමගින් ජනතාව නගරයට නොපැමිණීමෙන් නගරවැසියන් ලබාදුන් ආහාර පාන ආදීයෙන් යැපුණු සුනඛයින් බළලුන් ඇතුළු සත්වයින්ට දිනපතා උදේ සවස ආහාර ලබාදීමට කුලියාපිටිය නගරාසන්නයේ ගලහිටියාව ප‍්‍රදේශයේ තරුණයින් පිරිසක් ඉදිරිපත්ව ඇත.


එහි නායකත්වය ගෙන කනදුල්ල ධර්මරාජ විහාරවාසී අතුරුගිරියේ අනුරුද්ධ හිමියන් කටයුතු කරන අතර ගලහිටියාව ප්‍රියංක පී. හේරත්, තාරක විජේවර්ධන යන මහත්වරුන් ප්‍රමුඛ කණ්ඩායමක මූලිකත්වයෙන් වැඩසටහන දෛනිකව ක්‍රියාත්මකය.

ඔවුන් ඒ සඳහා උපකාර කරන සියලුදෙනා ලබාදෙන ද්‍රව්‍යමය උපකාර කළමනාකරණය කරමින් සත්වයින්ගේ රුචිකත්වය අනුව මස් මාංශ ආදිය භාවිතයෙන් අදාළ සත්ව ආහාර සකසන බවද වාර්තා වූ අතර ඒවා බෙදාදීමේදී කුලියාපිටිය නගර සීමාවේ සෑම අස්සක මුල්ලකම සිටින සතුන් අමතක නොකිරීමට ඔවුන් වගබලාගෙන තිබිණ.

ආහාර පිළියෙළ කිරීමද ඔවුන් අතින්ම සිදුවන අතර දිනකට සහල් කිලෝ 20කට හා මස් කිලෝග්‍රෑම් 12කට ආසන්න ප්‍රමාණයක් ඔවුනට ඒ සඳහා යෙදවීමට සිදුවන බවද තරුණයෝ පවසති.

කොවිඩ් පළමු රැල්ල පැමිණි අවස්ථාවේදීද කනදුල්ල පිරිවෙන්වාසී අතුරුගිරියේ අනුරුද්ධ හිමියෝ ප්‍රමුඛ පිරිසක් අදාළ කාර්ය භාරගෙන කටයුතු කළහ.

මෙවර අදාළ තරුණයෝද උන්වහන්සේ පෙරටුකරගෙන එම දානමය කටයුත්තේ නිරතව සිටිති. අප කළ විමසීමේදී ඔවුන් පැවසූයේ තව කොපමණ කලක් මෙලෙසින් නිරෝධායන ඇඳිරිනීතිය පැවතියත් නගරයේ මිනිස් ඇසුරේ හැදී වැඩුණු එම සතුන් පෝෂණය කිරීමේ වැඩකටයුත්ත සිදුකරන බවය.


- දිනේෂ් උපේන්ද -