සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක බරපතල වැඩ සහිත සිර දඬුවම් හා දඩ මුදල් නියම වී පසුව ඇප මත මුදාහැර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.


තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය මෙම පෙත්සම්වල පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු පුළුල් ලෙස විග්‍රහ කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළ බව සඳහන් කළාය.

මෙම නඩුවේ අභියාචකයින් ඉදිරිපත් කළ සාක්ෂි හා ලේඛන විශ්ලේෂණය කිරීමේදී ඔවුන් වංක  සාවද්‍ය පරිහරණය කිරිමක් සිදු කළ බවට තහවුරු කළ හැකි සාක්ෂි අනාවරණය නොවන බව විනිසුරුවරිය සදහන් කළාය. සාවද්‍ය මුදල් පරිහරණය සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අධි චෝදනා තුන සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරිය  විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙසද නියෝග කළාය. තීන්දුවේ පිටපතක් වැඩිදුර කටයුතු සදහා කොළඹ මහාධිකරණය වෙත යොමු කරන ලෙසද නියෝග කෙරුණි.

2015 ජනාධිපතිවරණය පැවති සමයේ විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබුණි. එම චෝදනාවලට වරදකරු කරමින් ඔවුන්ට 2017 වසරේ සැප්තැම්බර් මස 07 වනදා බරපතල වැඩ සහිත වසර තුනක සිර දඩුවම් හා දඩ මුදල් කොළඹ මහාධිකරණය මගින් නියම කඑ තිබුණි.

මෙම දඩුවම් නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එම සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඉල්ලමින් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් අභියාචනාධිකරණය හමුවේ අභියාචනා පෙත්සම් ගොනු කිරීමෙන් පසු අද තීන්දුව ලැබිණි.