කොළඹ මැනිං වෙළෙඳ පොළ වසා දැමීමට සිදුවීමත් සමග දැඩි දුෂ්කරතාවකට මුහුණපා සිටින එළවළු ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කරගැනීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ නව ස්ථානයක් වෙන් කර දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.  රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් භූමියක් මේ සඳහා වෙන් කර ගැනීමට අපේක්ෂා කෙරෙන අතර, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අකුරටම පිළිපදිමින් ඉතා කඩිනමින්
මැණිං වෙළෙඳ පොළ ගනුදෙනු ආරම්භ කරන්නැයි අරලියගහ මන්දිරයේ ඊයේ (10දා) පැවති සාකච්ඡාවකදී ආර්ථික පුනර්ජීවනය හා ද්‍රරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.


පවතින කෝවිඩ්-19 වසංගතය හමුවේ ආසාදිතයන් වාර්තා වීම නිසා ඊයේ සිට නැවතත් මැනිං වෙළෙඳ පොළ වසා දමා ඇති අතර, ඒ හේතුවෙන් එළවළු අලෙවි කර ගැනීම සඳහා මැනිං වෙළෙඳ පොළට දිනකට පැමිණන එළවළු ලොර් 150ත් - 200ත් අතර ප්‍රමාණයක් වෙනත් ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට සිදු වී තිබේ.  කෘෂි නිෂ්පාදන සඳහා ගොවීන්ට හොඳ මිලක් ලබාදීමටත්, ඒ තුළින් එළවළු හිඟයක් නොවන ආකාරයට පාරිභෝගිකයාට අවශ්‍ය එළවළු ප්‍රමාණය සැපයීමටත් අපේක්ෂා කෙරෙන අතර, පී.සී.ආර්. පරික්‍ෂණ සිදු කිරීමෙන් පසුව පූර්ණ සෞඛ්‍යාරක්‍ෂව තහවුරු කරමින් නව වෙළෙඳ පොළ කටයුතු ආරම්භ කිරිමට නියමිතව තිබේ. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, එස්. එම්. චන්ද්‍රසේන, සී.බී. රත්නායක මහත්වරුන් ඇතුළු රජයේ නිලධාරින්න පිරිසක් සහභාගි වූහ.