හොරණ මාස් බොඩිලයින් ආයතනයේ තවත් සේවකයන් 500 දෙනකුගේ පී.සී. ආර්. පරීක්ෂණය සඳහා ෙජෙ සාපල් ලබා ගැනීම සිදුකළ බවත් දැනට කොරෝනා ආසාදිත වී ඇති සේවකයන් 34 දෙනා ඉතා ඉක්මණින් කොරෝනා ප්‍රතිකාර රෝහල් සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

සෞඛ්‍ය සේව්‍ය අධ්‍යක්‍ෂවරයා මේ බව පැවසුවේ හොරණ බොඩිලයින් ආයතනයේ සේවකයන්ගේ පී. සී. ආර්. පරීක්ෂණ සිදු කිරීම, නැවත විවෘත කර පවත්වාගෙන යාම සහ ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඉකුත් 2 වැනිදා පෙරවරුවේ හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවැති කොරෝනා පාලන සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ය.


සේවක සේවිකාවන් 6000 ක් පමණ මෙම ආයතනයේ සේවය කරන අතර පසුගියදා සේවකයන් 20 දෙනකු අතරින් සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ මගින් බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි සේවිකාවකට කොරෝනා ආසාදිත වී ඇති බව පසුගියදා (31) තහවුරු වීය. අනතුරුව සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ගයක් වශයෙන් තාවකාලිකව ඇඟලුම් කර්මාන්තායතනය වසා දමා සියලුම සේවකයන් ඔවුන් රැඳී සිටින තාවකාලික නේවාසික ස්ථානවල (බෝඩිම) හෝ නිවෙස්වලම ස්වයං නිරෝධායනය කිරීමට කටයුතු කෙරිණි.

අනතුරුව මෙම ආසාදිතයාගේ ළඟම ආශ්‍රිතයන් 145 දෙනකුගේ පී.සී.ආර්. පරීක්ෂණ හොරණ සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාලය මගින් එදිනම සවස සිදුකළ අතර පසුගියදා (01) දින ලැබුණු ප්‍රතිඵලවලින් තහවුරු වූයේ තවත් 34 දෙනෙක් කොරෝනා ආසාදිතයින් බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂවරයා මෙසේද පැවසීය.

"ආසාදිත වූවන් 34 දෙනාගේ ලඟම ආශ්‍රිතයන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ 500 ක් සිදු කරනවා. එයින් 207ක් රජයෙන් සහ ඉතිරිය පෞද්ගලික අංශයෙන් තමයි සිදුකරන්නේ. එහි ප්‍රතිඵල ප්‍රමුඛතාව මත ඉතා ඉක්මණින් ලබා ගන්නවා. ඒ සමගම අගලවත්ත සහ පිඹුර බොඩිලයින් ආයතනවලත් පී.සී.ආර්. පරික්ෂණ ආරම්භ කිරීමට කටයුතු කරනවා. එහි ප්‍රතිඵල මත අපි ඉදිරියේදී තීරණය කරනවා කොහොමද කර්මාන්තශාලාව පවත්වාගෙන යන්නේ තියලා" යැයි හෙතෙම කීය.

මෙහිදී අදහස් දැක්වූ බොඩිලයින් ආයතනයේ මානව සම්පත් හා පරිපාලන අධ්‍යක්‍ෂ වෙනුර අත්තනායක මෙසේ පැවසීය.


මේ වනවිට කර්මාන්තශාලාවේ සියලු දෙනා සෞඛ්‍ය  අංශවල උපදෙස් මත නිරෝධායනයට ලක් කර සිටිනවා. නිරෝධායනය වත සේවකයන්ගේ සුබ සාධනය සම්බන්ධයෙන් සොයා බැලීමටත් නිරෝධායන නිවාඩුව වැටුප් සහිත නිවාඩුවක් බවට පරිවර්තනය කිරීමටත් කටයුතු කරනවා. සෞඛ්‍යය අංශවල උපදෙස් ලැබෙන තෙක් නැවත කර්මාන්තශාලාව විවෘත කරන්නේ නැහැ. අවශ්‍යතාවක් මතුවුවහොත් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආයතන මඟින් සොයා දීමට අපි කටයුතු කරනව.

කළුතර දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් ලියනගේ මහතා පැවසුවේ, රෝග ආවේක්ෂණ කටයුතු දිගටම කරගෙන යන බවත් මෙවර පැමිණි වයිරසය ප්‍රබල බැවින් සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති උපදෙස් නිසියාකාරව පිළිපදිමින් නිවෙස්වල සිටම නිරෝධායන කටයුතු පවත්වාගෙන යන ලෙස බොඩිලයින් සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සුමල් නන්දසේන, කළුතර දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් ලියනගේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ තරංගා තචෝදනී, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත වෛද්‍ය දිනේෂා රණසිංහ, හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චානක මල්ලිකාරචිචි, කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක සමන් ගීගනගේ, බොඩිලයින් ආයතනය වෙනුවෙත් නිෂ්පාදන හා මෙහෙයුම් අධ්‍යක්‍ෂ සමන්ත සෙනෙවිරත්න, මතව සම්පත් හා පරිපාලන අධ්‍යක්‍ෂ වෙනුර අත්තනායක, මානව සම්පත් හා පරිපාලන කළමනාකරු සුරංග විජේතුංග මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
- මංගල එදිරිසිංහ -