වැව් බැම්මකින් පහළට රෝද හතරේ ට්‍රැක්ටරයක් පෙරළි ඊට යටවී එය පැදවූ 16 හැවිරිදි පාසල් සිසුවකු මරණයට පත්වීම ගැන ට්‍රැක්ටරයේ අයිතිකරුට එරෙහිව නඩු පැවරිමට මිහින්තලේ පොලීසිය සැරසෙයි. මිහින්තලේ පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියකු පැවැසුවේ
රියදුරු බලපත්‍රයක් නොමැති බාලවයස්කරුවකු සිය ට්‍රැක්ටරය පැදවීම සඳහා යොදවා ගැනීම නිසා, ඔහුට ට්‍රැක්ටරය පාලනය කරගත නොහැකිව අනතුර සිදුවී ඇතිබව අනතුර සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ පරික්ෂණයේදී අනාවරණය වී තිබෙන බවයි.

ඉකුත් 31 වැනිදා පස්වරු 2.10 ට පමණ මිහින්තලේ නොවිචිකුලම වැව් බැම්ම මතින් ගමන් කරමින් සිටියදී සිදු වූ මෙම අනතුරින් එම ස්ථානයේදීම මරණයට පත්ව තිබුණේ සංජය නිමේෂ් අබේවර්ධන නමැති තිරප්පනේ තෝඩාමඩුවේ පදිංචි සිසුවෙකි. මේ මරණය සම්බන්ධයෙන් පොලිසිය මගින් නඩු පැවරිමට යන්නේ වැව් බැම්මෙන් පහළට පෙරළුණු ට්‍රැක්ටරයේ අයිතිකරුවන තෝඩාමඩුවේම පදිංචි කේ. ලලිත් ප්‍රියන්ත යන අයටය.


 -අතුල බණ්ඩාර-