මොනරාගල බන්ධනාගාරයේ නිලධාරින් හා සිරකරුවන් අතර ඊයේ (23) පෙරවරුවේ ඇති වූ ගැටුමක් හේතුවෙන් 'මැක්කා' නමැති සිරකරුවකු මියගොස් ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. මෙම ගැටුම මැඩපැවැත්වීම සඳහා බන්ධනාගාර නිලධාරින් දැඩි පරිශ්‍රමයක් දරා ඇති අතර එහිදී එක් නිලධාරියකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පැවසේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ අර 4 ගම්මානය නවගම්පුර ලිපිනයේ පදිංචි උලුපිටිය ගමගේ උපුල් නිලන්ත නමැති 42 හැවිරිදි අයෙකි.
මේ අතර නොසන්සුන්තාවට පත් සිරකරුවන් විසි දෙනකු පමණ බන්ධනාගාර වහලය මතට නැග පැය කීපයක්ම විරෝධතාවේ යෙදී ඇතැයි දැනගන්නට තිබේ. නොසන්සුන්තාව ඊයේ පෙරවරුවේ ඇතිවී තිබෙන අතර එය සවස්වන තුරුත් පැවැති බවද වාර්තාවේ.
මේ පිළිබඳව කරන ලද විමසීමකදී බන්ධනාගාර මූලස්ථානයේ උසස් නිලධාරියකු පැවසුවේ සිරකුටි විවෘත කිරිම ඊයේ (3) පෙරවරුවේ පමාවීම පිළිබඳව සිරකරුවන් පිරිසක් එක්ව නිලධාරියකුට පහරදී ඇති බවය. පසුව ඒ පිළිබඳව සෙවීමට ගිය නිලධාරින් දෙදෙනකු හා සිරකරුවන් අතර ඇති වූ ගැටුමකින් මෙම සිරකරු මියගිය බවට තොරතුරු ලැබී ඇතැයි එම උසස් නිලධාරියා කීය.සිද්ධිය පිළිබඳව පරික්ෂණයක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා බදුල්ල බන්ධනාගාර අධිකාරිවරයා පත්කර ඇත. මොනරාගල පොලිසිය ද වැඩිදුර පරික්ෂණ පවත්වයි.
0 Comments