කෝවිඩ්-19 වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට මිථ්‍යාව භාවිත කරන ආණ්ඩුව ප්‍රභූ පවුල් ආරක්ෂා කිරීමට විද්‍යාව භාවිත කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය. මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (05දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.  රට තුළ කෝවිඩ්-19 වසංගතය පැවතියද ආණ්ඩුවට එය කෝවිඩ් වසන්තයක් බවට පත්ව ඇති බවත්, ඒ අනුව විදේශ රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම සහ නිරෝධායනය ආණ්ඩුවට හිතවත් සමාගම්වලට ලබාදී ඇති බවත් නලීන් බණ්ඩාර මහතා සඳහන් කළේය.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලීන් බණ්ඩාර මහතා,


"රටට කෝවිඩ් වසංගතයක් තිබුණට ආණ්ඩුවට නම් කෝවිඩ් වසන්තයක් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා මේ රජය බලයට පත් කරන කටයුතු කරපු බලවේග අතර විදෙස්ගත ශ්‍රමිකයෝ විශාල කාර්යභාර්යයක් ඉෂ්ට කරා. ඔවුන් විදේශ රටවල සිට වියදම් කරගෙන ටිකට් එක අරන් ආවා. ඒත් දැන් ඔවුන් ලංකාවට එනකොට ඒ අයට ටිකට් ගන්න වෙලා තියෙන්නේ පැකේජ් එකත් එක්ක විශාල මුදලක් වියදම් කරලා. එක පැත්තකින් ටිකට් එකේ මිල අධිකයි. අනිත් පැත්තෙන් ආයතන කිහිපයක් කියන හෝටල්වලට නිරෝධායනයට යන්න ඕනි. මේ කටයුත්ත ලබාදීලා තියෙන්නේ ගජ මිතුරු සමාගම් කිහිපයකට. ඒ හරහා විදේශ රටවල සිට එන පුද්ගලයන් සූරා කෑමකට ලක්වෙනවා.  


ඒ වගේම ඒකේ දෙවන අදියර දැන් ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි පරීක්ෂණ කට්ටල (රැපිඩ් ටෙස්ට් කිට්) ගේන්නත් හිතවත් සමාගමකට භාරදී, ඒ හරහා මේ වන විට තොග ඇණවුම් කරලා තියෙනවා ඒ ආයතනය. විශාල මුදලකට තමයි ඒ කට්ටල ලංකාවට එන්නේ. ඒ නිසා කෝවිඩ් වසංගතය වසන්තයක් කර ගෙන තියෙනවා. 1990 ගිලන්රථ ගේද්දි  හර්ෂ ද සිල්වා මහත්මයාලා අනිත් පැත්තෙන් රාජිත ෙස්නාරත්න මහත්මයාලා තරගයට වගේ බෙන්ස් ගිලන් රථ ගෙන්න ගත්තා. ඒ වගේම අපිට දැන් ආරංචිය රජ පවුලට විද්‍යාව, ජනතාවට මිත්‍යාව ක්‍රියාත්මක වෙනවා කියලා.



පවිත්‍රා ඇමතිවරිය , ගම්මන්පිල මහත්මයා ගිහින් කළගෙඩි දානවා ජලාශවලට. ලැජ්ජාවට පත් වුණාට පස්සේ පවිත්‍රා ඇමතිවරිය ඇවිත් කිව්වා පිරිත් පැන් කළ දැම්මේ කියලා. ඒත් වෛද්‍ය වයිට් මහත්මයාගේ කළය තමයි ගිහින් දැම්මේ .  ඒ අනුව ජනතාවට කියනවා ජනතාව බේරගන්න මහ මුහුදට පනිනවා කියලා. කළ දානවා ජලාශවලට. ඒ ජනතාව බේරගන්න භාවිත කරන්නේ මිථ්‍යාව. ඒත් රජ පවුලට විද්‍යාව. අපිට ආරංචියි කෝවිඩ් සම්බන්ධ වැක්සින් එකක් ප්‍රභූ පවුල්වල අය එන්නත් කරන්න කියලා. එක අතකට ඩොලර් 70යි. ඒක නිසා ප්‍රභූ පවුල්වල අයට ප්‍රශ්නයක් නෑ ඒ එන්නත ගන්න පුළුවන්. ඒත් රටේ ජනතාවට මිථ්‍යාව මත පදනම් වුණ විශ්වාස මත තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඒ නිසා පැහැදිලිවම අපි රජයට කියනවා ජනතාවටත් අවශ්‍ය පහසුකම් දෙන්න කියලා” යනුවෙන් සඳහන් කළේය.


 -දිනේෂ් සමරකෝන්-