නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩෙන් විසින් සිය මීළඟ රජයේ නව කැබිනට් මණ්ඩලය පසුගියදා අනාවරණය කළාය. ඒ අනුව බොහෝ දෙනෙකු බලාපොරොත්තු තබා සිටි ආකාරයට විවිධ ජනවර්ගයන්ට, විවිධ පුද්ගල සබඳතාවන් පිළිගන්නා පිරිසකගෙන් සමන්විත වන ලෙස වඩාත් විවිධාංගීකරණය වූ කැබිනට් මණ්ඩලයක් නම් කිරීමට ඇය මෙහිදී කටයුතු යොදා තිබේ.
මෙහිදී ඇය නවසීලන්තයේ මෙම නව කැබිනට් මණ්ඩලය 'සුවිශේෂී විවිධාංගීකරණයක්' සහිත කැබිනට් මණ්ඩලයක් බවට හඳුන්වාදී තිබේ. එසේම මේ කැබිනට් මණ්ඩලය හරහා COVID-19 වසංගතය හේතුවෙන් හානියට පත්ව ඇති ආර්ථිකය යථාවත් කරගැනීම සඳහා පොරොන්දු ලබාදෙන බවද ඇය ජනතාවට පවසා තිබේ. මෙම කැබිනට් මණ්ඩලය 20දෙනෙකුට සීමා වී තිබේ.
මෙම නව පත්කිරීම් අනුව එරට හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ ග්‍රාන්ට් රොබර්ට්සන් ඇගේ නව රජයේ නියෝජ්‍ය අගමැතිවරයා බවට නම් කර තිබේ. ඔහු එරට තුළ විවෘතව සමලිංගික සබඳතාවක් පවත්වාගෙන යන අතර, එවැනි පුද්ගලයෙකු එම තනතුරට පත් වූ පළමු වැනි අවස්ථාවද මෙයයි.
එසේම නවසීලන්තයේ නව විදේශ අමාත්‍යවරිය ලෙස එරට මඕරි ගෝත්‍රික ජනවර්ගයට අයත් නානියා මහුටා නම් කෙරී ඇත. ඇයගේ නිකට මත එම 'මොකෝ කායුඒ' නම් එම ගෝත්‍රික ජනතාවගේ සාම්ප්‍රාදායික පච්චයක්ද කොටා තිබේ.
ඇයට අමතරව තවත් සැලකිය යුතු කාන්තා නියෝජනයක්ද මීළඟ නවසීලන්ත කැබිනට් මණ්ඩලය වෙත තෝරාගැනීමට අගමැතිනිය කටයුතු යොදා තිබේ. ඒ අනුව ඉන්දීය සම්භවයක් සහිත ප්‍රියංකා රාධක්‍රිෂ්ණන් එරට ප්‍රජා සහ ස්වේච්ඡා අමාත්‍යවරිය ලෙස පත්කර ඇත.
පසුගිය ඔක්තෝබර් 17දා පැවැත්වුණු නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඇය විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වූවාය. එහිදී ඇය රට තුළ ව්‍යාප්ත වුණු COVID-19 වසංගතය පාලනයට ලබාදුන් දායකත්වය දැඩි ලෙස බලපා තිබුණි. ඒ අනුව නව කැබිනට් මණ්ඩලය තුළ COVID-19 සඳහා ප්‍රතිචාර දක්වන අමාත්‍යවරයෙකුද පත්කර ඇති අතර, හිටපු සෞඛ්‍ය අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස්ට එම ධුරය හිමිව තිබේ.
0 Comments