බස්නාහිර පළාතේ කොරෝනා වයිරස් රෝගීන් විශාල සංඛ්‍යාවක් 

හඳුනාගෙන ඇති බැවින් එහි සිටින අය වෙනත් ප්‍රදේශවලට යාම වැළැක්වීමට පියවර ගත යුතු බව ජනාධිපතිතුමා

අද පැවති සාකච්ඡාවකදී පැවසීය.

හුදකලා කර ඇති ප්‍රදේශ වෙත භාණ්ඩ බෙදා හැරීමට සම්බන්ධ වන පාර්ශ්ව නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන්නේ ද යන්න අඛණ්ඩව නිරීක්ෂණය කළ යුතු බවත් එම ප්‍රදේශවලින් ඉවතට පැමිණීමට හෝ ඊට ඇතුළුවීමට හෝ කිසිවෙකුට ඉඩ නොතබන්නැයිද ජනාධිපතිතුමා කියා සිටියේය.

අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ වෛරසය පැතිරීම වැළැක්වීමට ගත යුතු පියවර පිළිබඳව දැනුම් දෙමිනි.

 වෛරසයට සම්බන්ධ රටේ නවතම වර්ධනයන් සමාලෝචනය කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විණි.

බෝ නොවන රෝගවලින් පෙලෙන්නන් කොවිඩ් ආසාදනයෙන් බේරා ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව ප්‍රධාන රෝහල් වෙත පැමිණීමට ජනතාවට ඇති දුෂ්කරතා හඳුනාගෙන කලක් රට පුරා  සාර්ථකව ක්‍රියාත්මක වූ  ප්‍රාදේශීය බෙහෙත් ශාලා (ඩිස්පෙන්සරි) කඩිනමින් පූර්ණ සක්‍රීයත්වයට පත් කළයුතු  බව මෙහිදී සාකච්ඡාවට ගැනිණි.

බන්ධනාගාරය ආශ්‍රිත තත්ත්වය සහ ව්‍යාප්තිය වැළැක්විමට ගෙන ඇති ක්‍රියාමාර්ග විමසුමට ලක් විය.

සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී දොලවත්ත, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලීත් වීරතුංග යන මහත්වරු සහ කොවිඩ් කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

( ඡායාරූප : රොෂාන් බොතේජු - ජනාධිපති මාධ්‍ය අංශය )