ඊයේ (2) කොරෝනා වෛරසය ආසාදනය වී තිබියදී සියදිවිනසාගත් පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකු සම්බන්ධ පුවතක් වාර්තා විය. සෞඛ්‍ය අංශ මුලදී එම මරණය 22 වැනි ආසාදිත මරණය ලෙස වාර්තා කර පසුව එය ඉන් ඉවත් කරන්නටද යෙදිණි.

මෙම පුද්ගලයා මියයාම සම්බන්ධ සංසිද්ධිය මෙම රෝගය ආසාදනය සම්බන්ධ වැදගත් යමක් හෙළි කරයි. නමුත් ආවසනාවට ඔහුගේ මරණය වාර්තා කළ විස්තරයේ ඒ ගැන සඳහන ඉතා කෙටිය.


වාර්තාවන ආකාරයට මෙම පුද්ගලයා මියයන්නේ තමුන්ට කොරෝනා බව දැනගෙන නොවේ. පීසීආර් පරීක්ෂණය සිදු කරන්නේ ඔහු ගෙළ වැළලාගෙන මියගියායින් පසුය.

කොරෝනා ආසාදනය නිසා ඇතිවන මරණ බිය නිසා ඔහු මියගියායයි මේ නිසා කිව නොහැකිය. නමුත් වාර්තාවන සත්‍ය තත්වය නම් ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවකු වීමයි. මේ දිනවල පවතින ඇඳිරි නීති තත්වය හා සමාජයේ අවුල් සහගත පරිසරය තුළ මත් කුඩු බෙදාහැරීමද ව්‍යාකූලවී ඇති පරිසරයක මෙම තරුණයාට දිනපතා අවශ්‍ය වන මත්කුඩු නොලැබීමේ පීඩාව මෙම මරණය පසුපස තිබෙන්නට ඇති බවට අනුමාන කළ හැකිය.

මෙලෙස මියගියේ පානදුර වෑකඩ ජයඋදාන ගම්මාන පාරේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි. ඔහු මරණයට පත්වූ ආකාරය එම පවුලට කම්පනයක් ඇති කර තිබේ. ඔහුට සහෝදරයින් කිහිපදෙනෙකු සිටින අතර මවද සමග ඔහු නිවසේ පදිංචිව සිටි බව පැවසේ. සිද්ධිය වූ දිනයේ ඔහු පවුලේ අය සමග රාත්‍රී රූපවාහිනිය නරඹමින් සිටි බවත් පැවසේ. එම අවස්ථාවේ තරමක ආමරු ගතියක් පෙන්වූ තම සහෝදරයා පවුලේ පිරිසෙන් ඉවත්වී තමන්ට අමාරු ගතියක් ඇති බව දන්වමින් සාලයෙන් නැගිට ගිය බව මියගිය අයගේ සහෝදරයා පොලිසියට සැපයූ කටඋත්තරයේ දැක්වේ. 'මට ඇඟට අමාරුයි.. හුස්ම ගන්න අමාරුයි..' කියූ ඔහු නැගිට්ට බවත් තම සහෝදරයා මත් පෙති ලබාගන්නා අයෙකු නිසා ඒ ආශ්‍රිත අමාරුවක් නිසා ඔහු එසේ කියන්නට ඇතැයි සැක කළ බවත් සොයුරා පවසා තිබේ.


අනතුරුව පවුලේ අය ඔහු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර නැති අතර නින්දට ගොස් තිබේ. නමුත් මියගිය තරුණයාගේ මව නිරන්තරයෙන්  ඔහු ගැන සොයා බලා තිබූ අතර රාත්‍රී 11.30 ට පමණ සියල්ලන් නින්දට යද්දී මියගිය අය නිවසේ කොහිවත් නැති නිසා කලබල වී ඇත. අනතුරුව විදුලි පහන් දල්වා නිවසේ සියල්ලන් ඔහුව සොයා ඇති අතර නිවසේ කුස්සියේ බාල්කයක සිරුර එල්ලෙමින් තිබෙනු දැක ඇත. ගෙළ වැළලාගෙන මියගොස් සිටි තරුණයා ඒ වනවිටත් මියගොස් තිබේ.

මරණයට ආසන්න රෝග ලක්ෂණ විමසමින් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී පීසීආර් පරීක්ෂණයක් සිදු කරන්නට නියමවූ අතර එහි ප්‍රතිඵල අනුව මියගිය අයට කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබේ.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් භාවිත කර ඊයේ (2) වාද්දුව වේරගම සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කරන ලදි.

මෙම තරුණයාට කොරෝනා ආසාදිත වුවත් ඔහුගේ මරණය කොරෝනා රෝග ලක්ෂණ උත්සන්නවී සිදුවූවක් නොවීම මත ගණනයෙන් ඉවත්කිරීම සිදු විය.