පානදුර  කේතුමතී කාන්තා රෝහලේදී පසුගිය 29 වැනි දින ඉපදී පැය කිහිපයක දී මියගිය බිලිඳියකගේ මළ සිරුරක් හා උපතේදීම මියගිය තවත් බිලිඳකුගේ මළ සිරුරක් මාරු වී යාමේ සිද්ධියක් එම රෝහලෙන් වාර්තා වූ බව පානදුර දකුණ පොලිසිය කියයි.

ඉපදී පැය කිහිපයක දී මියගිය දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට සූදානම් වීමේ දී බිලිඳියගේ සිරුර මිහිදන් කර ඇති බවට අනාවරණය වී ඇතැයි
පානදුර දකුණ පොලිසිය පවසයි.

පානදුර ගොරකාපොළ ප්‍රදේශයේ පදිංචි මවකට ඉකුත් 30 වැනිදා බිලිඳු දරුවකු ලැබී ඇති අතර ඒ වනවිටත් එම දරුවා මියගොස් සිට ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි.

මියගිය දරුවා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයක් අවශ්‍ය නැති බව එම දෙමවුපියන් පැවැසීම හේතුවෙන් පානදුර මූලික රෝහලේ පාලන අධිකාරිය එම මළ සිරුර මුදාහැරීමට මෘත ශරිරාගාරයට අවසර දී තිබිණි.

ඒ අනුව බිලිඳාගේ පියා සිය බිලිඳාගේ මළ සිරුර බාර ගැනීමට මෘත ශරීරාගාරයට ගිය අවස්ථාවේදී එහි සේවකයකු පෙට්ටියක දමා තිබුණු  මළ සිරුර ලබා දී තිබූ බව පොලිසිය පවසයි.

මානසිකව ව්‍යාකූල තත්ත්වයට පත්ව සිටීම හේතුවෙන් එම පියා පෙට්ටිය විවෘත කර මළ සිරුර පරික්ෂා නොකර මළ සිරුර පානදුර මිනුවන්පිටිය සුසාන භූමියට රැගෙන ගොස් මිහිදන් කර ඇතැයි පොලිසිය කියයි.

පොල්ගස්ඕවිට පාලගම ප්‍රදේශයේ පදිංචි මවකට දාව ඉකුත් 29 වැනි දින බිලිඳියක උපත ලබා ඇති අතර ඇය පැය කිහිපයකට පසු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් මරණ පරික්ෂණය පැවැත්වීම සඳහා ඊයේ (3) පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාර සේවකයා මළ සිරුර සොයා බැලීමේදී එම මළ සිරුර නොමැති බවත් ඒ වෙනුවට වෙනත් බිලිඳකුගේ මළ සිරුරක් තිබෙන බවටත් අනාවරණය වී ඇත.

පසුව ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීමේදී මළ සිරුරු දෙක එකිනෙක මාරු වී ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.


එම මළ සිරුරු මාරු වීම සම්බන්ධයෙන් පානදුර මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි, කේතුමතී රෝහලේ වෛද්‍ය අධිකාරී හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ අත්සනින් යුත් ලිපියක් පානදුර දකුණ පොලිසියට ලැබී ඇතැයි ද ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි විමර්ශන සිදුකරන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මේ සම්බන්ධයෙන් පානදුර මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මියගෙන් විමසීමේ දී ඇය මෙසේ පැවැසුවාය.

"මොකුත් වෙලා නෑ. ඔගොල්ලො මේ කුණු ගොඩවල්නේ අවුස්සන්නේ , මොකක්වත් නම් නෑ. මම නම් එහෙම ප්‍රශ්නයක් නම් දන්නේ නෑ. කවුද ඔයාට ඔය කතාව කිව්වේ. ඔයිට ඉස්සර එකක් දාලා මට ඉන්න හම්බ වුණේ නෑ." (එසේ කියා ඇය දුරකතනය විසන්ධි කළාය.)

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ, පොලිස් අධිකාරි උදය අමරතුංග මහත්වරුන්ගේ උපදෙස් මත පානදුර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ ද සිල්වා මහත්වරු පරික්ෂණ පවත්වති.
- බිමල් ශ්‍යාමන් ජයසිංහ -