සේරුනුවර පාෂාණ පබ්බත විහාරාධිපති පූජ්‍ය රත්නපුරේ දේවානන්ද කිත්ති හිමියන් ආවාස කුටිය තුළදී පෙරේදා (31) පිවිතක්‍ෂයට පත්ව ඇති බව සේරුනුවර පොලිසිය පවසයි. 

උන්වහන්සේගේ දේහය ආවාස කුටිය තුළ තිබියදී පොලීසිය සොයාගෙන තිබෙන අතර, නව විහාරාධිපති කොටපොල අමරකිත්ති හිමියන්ට ආමන්ත්‍රණය කළ දැන්වීමක් ආවාස කුටියේ බිත්තිය තුළ අලවා තිබියදී සොයාගෙන තිබේ.

විහාරාධිතිපති හිමින්ගේ මරණය සිය දිවි සාගැනීමක් බවට පොලීසිය සැකකරයි. මෙම මරණය සිදුවීමට සති දෙකකට

පෙර එම හිමියන් පරිහරණය කළ මෝටර් රථය රත්නපුරේ පදිංචි එම හිමියන්ගේ වැඩිමහල් සහෝදරියගේ පුතාට භාරදී තිබෙන අතර, විහාරාධිපති හිමි පරිහරණය කළ ත්‍රිරෝද රථය රත්නපුර පදිංචි තවත් හිතවතෙකුට ලබාදී තිබී ඇති බවත්, මේ කාලය තුළ විහාරස්ථානය පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන්ට භාර ගන්නැයි දුරකථනයෙන් දැනුම්දී ඇති බවට පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.

මේ අනුව මෙය සලසුම්සහගත සිය දිවි නසා ගැනීමක්ද යන්න සෙවීමට පරික්ෂණයක් ආරම්භ කර තිබේ. ගිහි කළ වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වූ මෙම හිමිනම රැකියාවෙන් ඉවත්ව මැදි වයසේදී අපවත්වී වදාළ පූජ්‍ය සේරුවිල සරණකිත්ති හිමි යටතේ පැවිදිව සිට ඇතැයි හෙළි විය.

සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආනන්ද උදය පුෂ්ප හේරත් මහතා ඇතුළු නිලධාරිහු වඩිදුර පරික්ෂණ පවත්වති. සිද්ධිය වූ ස්ථානයට පැමිණි මූතූර් වැඩබලන මහේස්ත්‍රාත් මොහොමඩ් මුබාරක් මහතා මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ත්‍රිකුණාමල රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේය.