පයාගල ගාලු පාරේ  ඇගලුම් කම්හලක සේවක සේවිකාවෝ 160ක් පමණ ඊයේ (10) උදෑසන සිට ඇගලුම්හල ඉදිරිපිට නිහඩ විරෝධතාවක නිරත වී සිටිති. සේවක සේවිකාවන්ට නොදන්වා පාලන අධිකාරිය ඊයේ (10) එකවරම ඇගලුම්හල වසා දමා ඇතැයි එම සේවක පිරිස් කියති.  රජය ක්‍රියාත්මක කර තිබූ ඇඳිරිනීතිය පෙරේදා (9) ඉවත් කළ පසු එදින එම ඇගලුම්හල ද විවෘත කර සේවක පිරිස් එදින සිය දෙනික කටයුතු ආරම්භ කළ බවත් ඊයේ (10) උදෑසන සේවයට පැමිණියත් ආයතනය වසා දමා පාලනාධිකාරියේ කිසිවකුත් පැමිණ නොමැති බවත් එම සේවක සේවිකාවෝ පැවැසූහ.



ඇගලුම් කම්හල ඉදිරිපිට සිටි සේවක සේවිකාවන් සෞඛ්‍යාරක්ෂිතව මුඛ ආවරණ පැළඳ සිටි අතර ඔවුන් පවසන්නේ ආයතනය වසා දමන්නේ නම් වසර 20ක සිට සේවය කරන සේවක සේවිකාවන්ට සාධාරණ වන්දියක් ලබා දී ආයතනය වැසීමට කටයුතු කරන ලෙසයි.  තවදුරටත් ඔවුන් පවසා සිටියේ ඔවුන්ට සාධාරණයක් ඉටු කරන තෙක් මෙම ස්ථානයෙන් පිට නොයන බවයි. මෙම සේවක ස්විකාවන් ප්‍රවාහනය කරන බස්රථවල හිමිකරුවන් ද මෙයින් පීඩාවට පත් වී ඇති බවත් තමන්ට ද මාස තුනක ප්‍රවාහන දීමනා  ගෙවා නොමැති  හෙයින් තම බස්රථවල ලීසිං ගෙවා ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවට පත් වී ඇති බවත් ඔවුහු පැවැසූහ. පාලන අධිකාරිය මෙලෙස එකවර මෙවැනි තීරණයක් ගැනීම තමන්ට ද සිදු කළ අසාධාරණයක් බව ද පැවැසීය.  එම ඇගලුම් කර්මාහලේ මානව සම්පත් කළමනාංකාර ධර්මසේන රණසිංහ මහතාගෙන් කළ විමසීමකදී මෙසේ පැවැසීය.

“මෙම කම්හලට එන ඇණවුම් ප්‍රමාණය අඩුවීම නිසා එහි සේවක සේවිකාවන්ගේ දීමනා  පිළිබඳව කළුතර උතුර කම්කරු කාර්යාලය සමඟ අපි සාකච්ඡා කරගෙන යනවා.  සේවක සේවිකාවන්ට සාධාරණයක් කිරිමට කම්හලේ පාලනාධිකාරිය දැනටමත් ක්‍රියාත්මෂ්ක වී තිබෙනවා. කම්කරු කාර්යාලයත්, සේවක සේවිකාවන් සමග කම්හලේ පාලනාධිකාරිය සාකච්ඡා කර සුදුසු තීරණයකට එළැඹෙනවා."