දකුණු ඇමරිකානු රටක් වන පේරු හි පාර්ලිමේන්තුවේ ඒකීය ව්‍යවස්ථාදායකය මගින් සඳුදා රාත්‍රියේ ජනාධිපති මාර්ටින් විස්කාරාට එරෙහි දෝෂාභියෝගයක් විභාග කළ අතර ඔහු ධුරයෙන් ඉවත් කිරීම සඳහා වැඩි ඡන්ද ප්‍රකාශ වී ඇත. දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 105 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුනේ 19 කි. පස් දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
පාර්ලිමේන්තුවේ කතානායක මැනුවෙල් මෙරිනෝ වැඩබලන
ජනාධිපතිවරයා ලෙස පත් කර තිබේ. ලබන වසරේ ජුලි මාසය දක්වා එනම් වත්මන් ජනාධිපතිගේ ධුර කාලය අවසන් වන තෙක් ඔහු එම තනතුරේ වැඩ බලනු ඇත.‍

“නොසැලකිල්ල සහ නොහැකියාව නිසා දහස් ගණනක් ජනතාව අහිමි වී තිබේ” යැයි නීති සම්පාදක රොබින්සන් ගුපියෝක් පැය පහකට වැඩි කාලයක් පැවති විවාදයේදී පැවසීය.

තම දෝෂාභියෝගයෙන් පසු ව්‍යවස්ථාදායකය අමතමින් විස්කරා එම චෝදනා ප්‍රතික්ෂේප කළ නමුත් ඔහු ඉවත් කිරීමට නැවත අභියෝග නොකරන බවත් ජනාධිපති මන්දිරය අතහැර සිය පෞද්ගලික නිවස සඳහා පිටත්ව යන බවත් ඔහු ප්‍රකාශ කළේය. අසාර්ථක කොරෝනා මර්දනය නිසා මීට පෙර සැප්තැම්බර් මාසයේදී විස්කරා දෝෂාභියෝගයට ලක් කිරීමට මන්ත්‍රීවරුන් දැරූ උත්සාහය අසාර්ථක වූ නමුත් මෙවර ඔහු ඉවත් කිරීමට හැකි වී ඇත.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාල දත්ත අනුව, පේරුවේ කොරෝනා වයිරසය හේතුවෙන්  35,000 කට ආසන්න පිරිසක් මියගොස් තිබේ.COVID-19 රෝගීන් මිලියනයකට ආසන්න වන අතර ලෝකයේ වැඩිම ඒක පුද්ගල මරණ වාර්තාවන රටවල් වලින් එකකි. ජනගහණය මිලියන 32 ක් වන  පේරුහි කොරෝනා මර්දන වැඩපිළිවෙල නැවත සකස් කළ යුතු බව වැඩබලන ජනපති ප්‍රකාශ කර තිබේ.