දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංගම් මහතා ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළව වසර 5කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ටී.එම්.වී.පි. පක්ෂයේ නායක නැගෙනගිර පළාත සභාවේ හිටපු මහඇමැති, වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි වන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් පස්දෙනා එක් අයකුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැරීමට මඩකලපුව මහාධිකරණ විනිසුරු ඩී.සු. සුසයිදාස මහතා ඊයේ (24) නියෝග කළේය.


සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කළ අධිකරණය ඔහුගේ ගුවන් ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙසට ද නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ නැගෙනහිර පළාත් සභාවේ හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තත් නොහොත් ‘ පිල්ලෙයාන්", හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රදීප් මාස්ටර් නොහොත් එඩ්වින් කිරුෂාන්ත රාජා, ගජන් මාමා නොහොත් කනකනායගම්, යුද හමුදා බුද්ධි අංශ නිලධාරි එම්. කලීල්, හිටපු හමුදා සෙබළ මදුසංඛ නොහොත් ‘විනෝද” යන පස් දෙනාය.

ඉකුත් 2005 දෙසැම්බර් මස 25 වැනිදා රාත්‍රී මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේ නත්තල් දේව මෙහෙය පවත්වමින් තිබියදී එම දේව මෙහෙයට සහභාගි වූ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතා නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් වෙඩිතබා ඝාතනය කළ අතර තවත් 8 දෙනකුට බරපතළ තුවාල සිදුවිය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 1357/05 යටතේ පොලිසිය කරුණු වාර්තා කර තිබූ අතර, පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව එම පරීක්ෂණ කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබිණි.

ඒ අනුව ඉකුත් 2015 ඔක්තෝබර් මස 04 වැනිදා මඩකලපුවේදී මෙම සිද්ධියට අදාළ සැකකරුවෝ රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 90ක කාලයක් රහස් පොලිසියේ රඳවා තබාගෙන පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටියහ.


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රකාශ ලබා ගත යුතුව ඇති අතර, මෙහි පළමු සැකකරු වූ පිල්ලෙයාන් නමැත්තා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයකුව සිට ඇති බවට ද විමර්ශනවලින් කරුණු හෙළිවූ බවත් සඳහන් කරමින් රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ කරුණු වාර්තා කර රැඳවුම් නියෝගය ලබාගැනීම සිදුකර තිබුණේ ඉකුත් 2015 ඔක්තෝබර් මස 14 වැනිදාය.

එසේම, පෞද්ගලික ඔත්තුකරුවකු ලවා සිදුකරන ලද විමර්ශනවලදී මෙම අපරාධය ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් සැලසුම් කර සිදුකර ඇතැයි කරුණු අනාවරණය වී ඇති බවත්, එම අපරාධය සිදුකළ ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් අපරාධය සිදුකිරීමට සැලසුම් කර අනෙක් සාමාජිකයන් යොදවා ඔවුන් මෙහෙයවමින් මෙම අපරාධය සැකකාර පිල්ලෙයාන් විසින් සිදුකර ඇති බවත් මෙහිදී රහස් පොලිසිය තම වාර්තාවෙන් අධිකරණයට දැනුම් දී තිබිණි.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් වන එඩ්වින් සිල්වා, ක්‍රිෂ්ණ නන්දරාජා නොහොත් ප්‍රදීප් මාස්ටර් සහ රෙංගසාමි කනගනායගම් නොහොත් "කජන් මාමා" යන සැකකරුවන්ගෙන් කෙරුණු ප්‍රශ්න කිරීම්වලින් මෙම සැකකාර පිල්ලෙයාන් නමැත්තා අත්අඩංගුවට ගත් බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබිණි.

- නිමන්ති රණසිංහ -