අනුරාධපුර පොලිසියේ නිලධාරින් පිරිසක් තරුණයකුට 2013 වසරේදී පහරදී, අතක් කඩා දැමීමෙන් එම තරුණයාගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි  ලෙස රුපියල් ලක්‍ෂයක මුදලක් එම සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයාට ගෙවන ලෙස  පොලිස්පතිවරයාට නියෝග කළේය.  මීට අමතරව එම තරුණයාට රුපියල් පනස්දහස බැගින් පෞද්ගලිකවම ගෙවන ලෙස  ද ශ්‍රේෂ්ඨාධිකරණය අනුරාධපුර පොලිසියේ හිටපු ප්‍රධාන පොලිස් පරික්ෂක ගාල්ලගේ සහ උපපොලිස් පරික්ෂක අමරසිංහ නමැත්තන්ට නියෝග කළේය.

බුවනෙක අලුවිහාරේ, මුර්ඳු ප්‍රනාන්දු සහ එස්. එස්. තුරෙයිරාජා යන මහත්ම මහත්මීගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම පෙත්සමේ තීන්දුව දෙන
අනුරාධපුර මහවලුක්කුලම ප්‍රදේශයේ පදිංචි  ලලන්ත අනුරාධ නන්ද නමැත්තකු  ගොනුකළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අනුරාධපුර හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගාල්ලගේ, උපපොලිස් පරික්ෂක අමරසිංහ, පොලිස්පතිවරයා ඇතුළු හයදෙනෙක් නම් කරනු ලැබ සිටිති. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.එස්. තුරෙයිරාජා මහතා විසින් විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශිත  නඩු තීන්දුවේ මෙසේ ද සඳහන් වේ.


 “පෙත්සම්කරු 2013 වසරේ සැප්තැම්බර් 25 වැනි දින දෙවැනි සහ තුන්වැනි වගඋත්තරකරුවන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඉන් පසුව ඔහු පොලිස් ජීප් රථයේ පසුපස එල්ලා පොලිස් පරික්ෂක නිලධාරින් ඔහුට පහරදී ඇත. මෙම පහරදීම හේතුවෙන් ඔහුගේ දකුණු උරහිස කැඩිණි. ඔහු සිහිසුන් තත්වයට පත්ව ඇත. පෙත්සම්කරුට පියවි සිහිය ලැබෙන විට ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරුන් මධ්‍යස්ථානයකට රැගෙන ආ බව පෙත්සම්කරුට දැනී ඇත. ඉන් පසුව නැවතත් පෙත්සම්කරු අනුරාධපුර පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇත.


 ඊට පසු දින පෙත්සම්කරු වගඋත්තරකාර පොලිස් නිලධාරින් විසින් නැවතත් පොලිස් ජීප්  රථයට දමා දණ ගස්සවා ඇත. ජීප් රථයේදී  දෙවැනි වගඋත්තරකරු පිස්තෝලයක් පෙන්වා, පෙත්සම්කරුට පහරදුන් බව හෙළි කළහොත් මරා දමන බවටත්, ඔහුගේ ඥාතීන් අත්අඩංගුවට  ගන්නා බවටත් තර්ජනය කළේය. පසුව අත්අඩංගුවට ගත් පෙත්සම්කරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කියා සිටියේ රත්රන් බඩු සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පෙත්සම්කරු අත්අඩංගුවට ගත් බවය. ඔහු ජීප් රථයෙන් එළියට පැන්න අවස්ථාවේදී ඔහුට තුවාල සිදු වූ බව ද
වගඋත්තරකාර පාර්ශ්වය තවදුරටත් කියා සිටියේය.


ඉදිරිපත් වූ කරුණු අනුව පෙත්සම්කරු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිගැනීමට අධිකරණයට ප්‍රමාණවත් හේතු පවතී. එසේම පෙත්සමේ දෙවැනි සහ තුන්වැනි වගඋත්තරකාර පොලිස් නිලධාරින් පෙත්සම්කරු අත්අඩංගුවේ සිටියදී ඔහුට පහරදී ඇති බව අධිකරණයේ මතයයි.  ඒ අනුව පෙත්සම්කරුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය යටත්තේ ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ද අධිකරණයේ තීන්දුව වේ. රජයේ නිලධාරින්, විශේෂයෙන්ම පොලිසිය විසින් මෙවැනි පහරදීම සිදුවීම වැළැක්වීමට දැඩි පියවර ගන්නා ලෙසත්, ඒ පිළිබඳව සැලැස්මක් සකස් කරන ලෙසටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශිත නඩු තීන්දු කිහිපයකදී නියෝග කර තිබුණත්, ඒ පිළිබඳව පියවර ගත් බවට මෙතෙක් මෙම අධිකරණයට කරුණු වාර්තා වී නොමැත. එබැවින් මෙවැනි සිදුවීම් දිගටම සිදුවීම වැළැක්වීමට රජය සුදුසු පියවර ගත යුතුය.


සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී දෙවැනි  සහ තුන්වැනි වගඋත්තරකරුවන් සහ රජය විසින් පෙත්සම්කරුගේ අයිතිවාසිකම් කඩකර ඇති බවට තීන්දු කරන බවත්, දෙවැනි සහ තුන්වැනි වගඋත්තරකරුවන් පෞද්ගලිකව රුපියල් 50,000ක් බැගින් ද පොලිස්පතිවරයා රුපියල් ලක්‍ෂයක  මුදලක් ද පෙත්සම්කරුට ගෙවන ලෙස ද නියෝග කරනු ලැබූ බව තීන්දුවේ සඳහන් වේ.  පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ තනුක නන්දසිරි මහතා පෙනී සිටියේය.  වගඋත්තරකාර පොලිස් නිලධාරින් වෙනුවෙන්  නීතිඥ සඳමල් රාජපක්ෂ මහතා පෙනී සිටියේය.  නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ  යුරේෂා ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.


 තිළිණි ද සිල්වා