"පෑලියගොඩ පොලිස් මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකට මා පොලිස් ජිප් රථයෙන් පොලිස් ස්ථානාධිපතිතුමා රැගෙන ගියා. එම සාකච්ඡාව ටික වෙලාවක් යනවිට ‘පොලිස් ස්ථානාධිපතිතුමා අසනීපයෙන්, ජීප් රථය ගෙන එන්න” කියලා පොලිස් නිලධාරී මහත්මයෙක් මට දැනුම් දුන්නා. මා පොලිස් ස්ථානය ළගට ජීප් රථය ගෙන ගියා. එවිට පොලිස් නිලධාරින් තිදෙනකු පොලිස් ස්ථානාධිපතිතුමා රැගෙනවිත් ඉක්මනට රෝහලට රැගෙන යන්ටන කීවා" යැයි හදිසියේ රෝගාතුරව මියගිය බියගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් පැවැති මරණ පරික්ෂණයේදි සාක්ෂි දුන් බියගම පොලිසිය සැරයන් සරත් දිසානායක මහතා පැවැසිය.



 හදිසියේ රෝගාතුර වී මියගිය බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පී.ඒ.සී.එල්. අමරසේකර මහතාගේ (51) මරණ පරික්ෂණය ඉකුත් (29) දා රාත්‍රියේ කිරිබත්ගොඩ රජයේ රෝහලේ දී පැවැත්විණි. මීගමුව, හේත්තුකාල ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස්  ස්ථානාධිපතිවරයා දියණියන් දෙදෙනකුගේ පියෙකි. පෑලියගොඩ හදිසි මරණ පරික්ෂක නිල නොලත් මහේස්ත්‍රාත් නීතිඥ හා වෛද්‍ය  ඩබ්ලිව්.ඩී. පත්මසිරි පෙරේරා මහතා පවත්වන ලද මරණ පරික්ෂණයේදී සාක්ෂි දුන් බියගම පොලිසියේ සැරයන් සරත් දිසානායක මහතා (48847) මෙසේ ද කීය.


 “ජීප් රථයට ගොඩකරගත් පොලිස් ස්ථානාධිපතිතුමා ජීප් රථයේ  ඉදිරි අසුන්නේ වාඩි වී සීට් එක ඇල කරලා ඒ.සී. එක ඕෆ් කරන්න  කියලා මට කීවා. මම ජීප් රථය පදවාගෙන යනවිට පොලිස් පරික්ෂක සම්පත් මහතා හමුවුණා. මා සම්පත් මහතාට කීවා මහත්තයා අසනීපෙන් යමු කියලා. සම්පත් මහතා ද රථයේ පිටුපසට නැග්ගා. අපි යන අතරතුර ඔ. අයි.සී. මහතා කතාවත් කළේ නැහැ. අපි ජංගම රෝහල වන කිරිබත්ගොඩ රජයේ රෝහලට රැගෙන ගියා.

එහිදී වෛද්‍යවරුන් කීවා ඕ.අයි.සී. මහතා මිය ගොස් ඇති බව." පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිය වන පී. සාගරිකා රණසිංහ මහත්මිය (49) සාක්ෂි දෙමින් මෙසේ කීවාය.


“මහත්තයාට අසනීපයක් තිබුණේ නැහැ. නමුත් දියවැඩියාවට ප්‍රතිකාර ලබාගත්තා. කකුලක තුවාලයක් තිබුණා. එයට බෙහෙත් දමමින් සිටියා. සිද්ධිය වූ දින එම වෛද්‍යවරයා හමුවීමට යාමටයි  සිටියේ ."  වැඩිමල් දියණිය වන රැකියාවක නියුතු මන්ත්‍රී නිරෝෂා මෙනවිය (24) සාක්‍ෂි දෙමින් කියා සිටියේ “තාත්තාට වසර පහක පමණ කාලයක සිටම දියවැඩියාව තිබුණා. කොලොස්ටරෝල් ද තිබුණා. ඒවාට ප්‍රතිකාර ගනිමින් සිටියා" කියායි.  පියා වන ඩග්ලස් අමරසේස්කර මහතා (82) ද සාක්ෂි දුන්නේය. 



පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ රාගම මහ රෝහලේ අධිකරණ වෛද්‍යය නිලධාරි එම්.එස්. දිනෙත් මහතා විසින් මෙම මරණය හෘදයාබාධයකින් සිදු වී තිබෙන බවට වෛද්‍ය  වාර්තාව ඉදිරිපත් කළේය.  ඒ අනුව ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තාව සැලකිල්ලට  ගත් හදිසි මරණ පරික්ෂකවරයා මෙම මරණය ස්වභාවික මරණයක් බවට නිගමනය කළේය.  කිරිබත්ගොඩ පොලිසියේ උපපොලිස් පරික්ෂක ලියනපතිරණ  මහතා සාක්ෂි මෙහෙයවිය.