නිවසේ නිරෝධායනයට ලක්කර සිටි මාතලේ මහවෙල පොලිසියේ පොලිස් සැරයන්වරයකු සිය වෙළෙඳසල් විවෘත කරගෙන වෙළෙඳාම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පැවසීය. පෑලියගොඩ මාළු වෙළෙඳසලට ගිය කොළඹ ප්‍රදේශයේ පොලිස් නිලධාරියකුගේ පියකු මෙම පොලිස් සැරයන්වරයාගේ නිවසට පැමිණ සබඳකම් පවත්වා තිබියදීත් එම පියාට කොවිඩ් 19 වයිරසය ශරීරගත වී ඇති බවට ලැබුණු තොරතුරක් මත මහවෙල පොලිසියේ පොලිස් සැරයන්වරයා සිය නිවසේ නිරෝධායනයට ලක් කරන ලෙස තමන් නියෝග කළ බව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පැවසීය.
පසුව එම ප්‍රදේශයේ කීප දෙනකුගෙන් දැන ගන්නට ලැබී ඇත්තේ මෙම පොලිස් සැරයන්වරයා නිවසේ ඇති වෙළඳසල විවෘත කරගෙන භාණ්ඩ අලෙවි කරන බවයි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු කණ්ඩායමක් එම පොලිස් සැරයන්වරයාගේ නිවසට පරික්ෂාවට යැවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
පරික්ෂණ කණ්ඩායම එම ස්ථානයට යනවිට පොලිස් සැරයන්වරයා වෙළෙඳසලේ භාණ්ඩ අලෙවි කරමින් සිට ඇති බව අනාවරණයවී තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා තවත් දින 14 ක් පොලිස් සැරයන්වරයා නිරෝධායනයට ලක් කරමින් වෙළෙඳසල ද වසා දැමීමට නියෝග කර තිබේ.
මෙම පොලිස් සැරයන්වරයා සිදුකර ඇති නිරෝධායන නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරවන ලෙස සහකාර පොලිස් අධිකාරීවරයකුට පැවරූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සඳහන් කළේය.
ඊට අමතරව රාජකාරි මට්ටමින්ද මෙම පොලිස් සැරයන්වරයා පිළිබඳව විනය පරික්ෂණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
0 Comments