ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් කරන ලද නිර්දේශයකට අනුව පාර්ලිමේන්තු සභාවේ ඒකමතික එකඟතාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා නව විනිසුරුවරුන් 06 දෙනකු සහ අභියාචනාධිකරණය සඳහා නව සභාපති විනිසුරුවරයකු පත්වී ඇත්තේය.

ඒ අනුව ඒ. එච්. ඞී. නවාස්, කුමුදිනී වික‍්‍රමසිංහ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි, මහින්ද සමයවර්ධන හා ජනක් ද සිල්වා යන විනිසුරුවරුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලබා ඇත්තේය.


අභියාචනාධිකරණයේ නව සභාපති විනිසුරුවරයා ලෙස විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා පත්කර ඇති අතර, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ ඒ. එම්. ඞී. නවාස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්වීම හේතුවෙන් ඇතිවන පුරප්පාඩුව සඳහා ඔබේසේකර මහතා පත් කිරීමට ජනාධිපතිවරයා නිර්දේශ කර තිබිණි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් ඇති කරනු ලැබූ පාර්ලිමේන්තු සභාවේ ඒකමතික එකඟතාව මත මෙම පත්කිරීම් සිදුකර ඇති අතර ඒ සඳහා නම් නිර්දේශ කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන්නේය.

වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක වීම පටන් ගත් දා සිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සංයුතියේ වෙනසක් සිදු නොවූ අතර, පසුගියදා සම්මත කර ගනු ලැබූ 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ එකොළොස්දෙනකුගේ සංයුතියෙන් සමන්විත වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සංඛ්‍යාව 17 දෙනකු දක්වා වැඩි වී ඇත.


සමන්ත ඉලේපෙරුම