රත්නපුර නගරය තුළ තාවකාලිකව තහනම් කළ මැණික් ව්‍යාපාරික කටයුතු අද (10දා) අඟහරුවාදා සිට
ඉවත් කිරීමට දැඩි කොන්දේසි මත ඒ සඳහා ඉඩ දීමටත් රත්නපුර නාගරික කොරෝනා මර්දන කමිටුව තීරණය
කර ඇත.


මෙම තීරණය ගනු ලැබුවේ පසුගියදා(7දා) සෙනසුරාදා දින රත්නපුර මහ නගර සභාව, නාගරික සෞඛ්‍ය
වෛද්‍ය නිලධාරි කාර්යාලය, රත්නපුර මූලස්ථාන පොලිසිය, මැණික් වෙළෙඳ ව්‍යාපාරික සංගම්, පදික
වෙළෙඳ සංගම්, ත්‍රිරෝද රථ සංගම්, වෙළෙඳ සංගම්වලින් සමන්විත නාගරික කොරෝනා මර්දන කමිටුව මඟිනි.

මෙහිදී විශේෂයෙන් රත්නපුර නගරයේ සමස්ත ආර්ථිකය රදාපවතින්නේ මැණික් වෙළෙදාම මත බවත් මැණික්
වෙළෙදාම බිඳ වැටීම තුළ සියලු ව්‍යාපාර හා සෙසු සියලුම ආදායම් මාර්ග ඇනහිටින බව
ව්‍යාපාරිකයන් පෙන්වා දෙන ලදී. එම ඉල්ලීමට නගර සභාවේ හා පොලිසියේ එකඟතාව ලැබුණද එය
දැඩි කොන්දේසි මත මැණික් වෙළෙදාමට 9 දිනෙන් පසුව ඉඩ ලබාදීමට එකඟතාව පළ කරන ලදී.

රත්නපුර අඹගහයට, ඔරලෝසු කණුව අසල සහ දෙමුවාත යන ස්ථානවල මැණික් වෙළෙදාම පිණිය විශාල
පිරිසක් දිනපතා උදෑසන 8.00 සිට දහවල් 2.00 පමණ දක්වා රැඳී සිටිති. මැණික් ව්‍යාපාරයේ
යෙදීමට අදාළ කොන්දේසි ලෙස නියම ආකාරයේ මුව ආවරණ පැලඳීම, මීටර් 1.5 දුරස්ථභාවය රඳවා
ගැනීම, ප්ලාස්ටික් මුහුණු ආවරණ භාවිතය, අත් ආවරණ භාවිතය අනිවාර්ය කරන ලදී. එමෙන්ම සෑම කෙනකු
සතුවම විසබීජනාශක බෝතලයක් ළඟ තබා ගැනීම, සෑම ගනුදෙනුවක් අවසානයේම අත් හොඳින් පිරිසුදු කර
ගැනීම යන කොන්දේසි මත වෙළෙදාමට ඉඩ ලබාදීමටත් මෙම කොන්දේසි කඩ කරන්නේ නම් ඊට එරෙහිව
නිරෝධායන පනතට අනුව කටයුතු කිරීමටද තීරණය විය.

රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක මහතාගේ මූලිකත්වයෙන් පැවැති මෙම කමිටුව සඳහා මූලස්ථාන
ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රොහාන් ඕලුගල, නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රොහාන් අමරසේකර යන
මහත්වරුන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, මැණික් සංගම්, වෙළෙඳ සංගම්, ත්‍රිරෝද රථ සංගම් ඇතුළු
නාගරික ප්‍රජාව නියෝජනය කරන බොහෝ දෙනෙක් එක්ව සිටියහ.

රත්නපුරය - මිණිපුර ආරච්චි