අධ්‍යාපන හා රැකියා සඳහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රුසියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 27 දෙනකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මේ වසරේදී රුසියාවට ගිය ලාංකිකයන් පිරිසකි. මෙම ලාංකිකයන් 27 දෙනාගෙන් 17 දෙනකු සිර දඬුවම් අවසන් කිරීමෙන් අනතුරුව දිවයිනට නැවත එවා ඇති අතර තවත් පුද්ගලයන් දස දෙනකු එරට රැඳවුම් මධ්‍යස්ථාන බාරයේ පසුවන බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. එරට රැඳවුම් බාරයේ සිටින ලාංකිකයන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කෙරෙමින් පවතින බැවින් ඔවුන් විවිධ නගරවල රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා ඇතැයිද එම තානාපති කාර්යාලය කියයි.
මෙලෙස ව්‍යජ ලේඛන ඉදිරිපත් කර විදේශ රැකියා සහ අධ්‍යපනික කටයුතු සඳහා පුද්ගලයන් එවන හොර ඒජන්සිවලට එරෙහිව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවත් එවැනි හොර රැකියා ඒජන්සි ආයතනවලට නොරැවිටින්නැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. සංක්‍රමණ නීති රීතිවලට අනුව සංචාරක වීසා මගින් රුසියාවට පැමිණෙන විදේශකයන්ට ඔවුන්ගේ වලංගු වීසා කාලසීමාව තුළ දී රැකියාවල නිරත වීමට අවසර දෙනු නොලබන අතර දඩුවමකට ද යටත් වීමට සිදු වන බව ද තානාපති කාර්යාලය පෙන්වා දෙයි. එම තත්ත්වය නොසලකා ශ්‍රී ලංකාවේ විදේශ රැකියා සහ අධ්‍යපනික නියෝජිතායතන කිහිපයක් රුසියාවේ වෙසෙන ලාංකිකයන් හා සංවිධාන කිහිපයක්ද මෙවැනි නීති විරෝධී කටයුතුවල නිරත වන බව අනාවරණය වී ඇතැයි ද එම තානාපති කාර්යාලය කියයි.
රුසියාවට හෝ වෙනත් අසල්වැසි රටකට පැමිණීමට නීති විරෝධි මාර්ග භාවිත කිරීමෙන් වළකින ලෙසත් එවැනි ව්‍යජ ආයතන පිළිබඳව සුපරික්ෂකාරී වන ලෙසත් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කරයි. රැකියා අවස්ථා සෙවීමේ හෝ දේශසීමා හරහා යුරෝපයට ඇතුළු වීමේ අපේක්ෂාවෙන් ශිෂ්‍ය සංචාරක වීසා මත රුසියානු සමූහාණ්ඩුවට යාමෙන් වළකින්නැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටී.
-තිළිණි ද සිල්වා-
0 Comments