පසුගිය සිකුරාදා ජනපති අත්සන් කළ අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව
 තාක්ෂණ අමාත්‍යංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශය නමින් නව අමාත්‍යංශ 02 ක් නම් කර තිබෙයි.
 
අංක 2202/25 අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙතෙක් නිපුණතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යවරිය යටතේ තිබූ ආයතන තුනක් ඉවත් කර ඇත.
එම ආයතන වනුයේ කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා ඉන්ස්ටිටුයුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් හා ජාතික විද්‍යා තාක්ෂණ කොමිෂන් සභාව යන ආයතනයන්‍ වේ. මෙම රාජ්‍ය අමාත්‍ය ධුරය දරන්නේ සීතා අරඹේපොල මහත්මියයි.
තාක්ෂණ අමාත්‍යංශයේ ප‍්‍රධාන විෂය පථය වන්නේ ප‍්‍රශස්ත තොරතුරු තාක්ෂණය, ජාතික සහ ජාත්‍යන්තර විද්‍යුත් සම්බන්ධතාවයන් හා සම්බන්ධීකරණය කරමින් සෞඛ්‍ය, අධ්‍යාපන, සුබසාධන හා රාජ්‍ය සේවාවන් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත‍්‍රය කාර්යක්ෂම ලෙස මෙහෙයවීම සඳහා ඩිජිටල් ආණ්ඩුකරණ සේවා ස්ථාපිත කිරීමයි.
ශ‍්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව, ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ද අදාළ අමාත්‍යංශයට අයත්ය.
මෙම ඇමති ධූරය ජනපති ගෝඨාභය රාජපක්ෂ යටතේම තබාගනු ඇති බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
දෙවනුව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ විෂය පථය වන්නේ, සියලූ‍ම පුරවැසියන්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මගින් මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ නිතීය හා සාමය පවත්වා ගැනීමයි. ශ‍්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ද එම අමාත්‍යංශයට අයත්ය. මින් පෙර ඇමති චමල් රාජපක්ෂ යටතේ තිබූ විෂය පථ, කිහිපයක් මෙම නව අමාත්‍යංශයට පවරාගෙන ඇත.
මෙම නව කැබිනට් අමාත්‍ය ධූරය රියාද් අද්මිරාල් සරත් වීරසේකර මහතා වෙත පවරන්නට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.