ඇඹිලිපිටිය නගර මැද පිහිටි පාසලක නව වැනි ශ්‍රේණියේ ශිෂ්‍යාවක ඊයේ (23) පාසල් ආරම්භ කිරීමේ රැස්වීමේ දී හුස්ම ගැනීමේ අපහසුතාවට ලක් වූ අවස්ථාවේ ගිලන් රථයක් එන තුරු ඇයට කිට්ටුවීමට ගුරුවරුන් පවා මැලිවීම හේතුවෙන් පාසල් භූමිය තුළ දී හදිසියේ අසනීප වන

දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පැන නගින බව මව්පියෝ පවසති. හුස්ම ගැනීමේ අපහසුතාව නිසා වැටෙන්නට ගියවිට සහෝදර ශිෂ්‍යයාවගේ උදව් ඇතුළු බිම වාඩි වූ මෙම ශිෂ්‍යයාව සමීපයට ගුරුවරුන් හෝ ගුරුවරියන් කිසිවෙකුත් ළංවී නොමැති බව මවිපියෝ පවසති.


පාසලෙන් කළ දැනුම්දීමක් මත 1990 ගිලන් රථයක් විදුහලට පැමිණ බිම වැතිරී සිටි ශිෂ්‍යයාව ගිලන් රථයට වංචාගෙන ඇඹිලිපිටිය මූලික රෝහලට වහා ගෙන ගොස් තිබේ. දැරිය සමග රෝහලට යාමට ගුරුවරියකට හෝ වෙනත් බාරකාරියකට එන්නැයි ගිලන් රථයේ පැමිණි කාර්ය මණ්ඩලය කතා කළ ද කිසිම ගුරුවරියක හෝ වෙනත් කෙනෙකු හෝ ඊට ඉදිරිපත් නොවීම නිසා බාරකරුවකු නොමැතිව මෙම දැරිය ඇඹිලිපිටිය දිසා මහ රෝහල වෙත ගෙන ගොස් තිබු බව ද මව්පියෝ පැවසූහ. ඇඹිලිපිටිය දිසා මහ රෝහලට දැරිය රැගෙන ගිය වහාම ඇය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කිරිමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණි.


මේ සම්බන්ධයෙන්  ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය  රවීන්ද්‍ර අබේසූරිය මහතා පැවසුවේ හුස්ම ගැනීමේ  අපහසුතාව තිබූ එම ශිෂ්‍යයාව හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර වලින් පසු සුවය ලැබූ බවයි. 
ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බවට සමහරුන් සිතුව ද වෛද්‍ය කාර්ය මණ්ඩලය එසේ නිගමනය නොකොට වෙලාවට නිසි ප්‍රතිකාර ලබා දී ඇය සුවපත් කළ බව මව්පියෝ පැවසූහ.


‘මේක හොඳ ප්‍රවණතාවක් නෙවෙයි. පාසල් භූමියට ළමයා ගියාම ගුරුවරු භාරයේ ළමයි ඉන්නේ. ඒ අයට හදිසි අසනීපයක් හැදුණොත් අහක බලන ගුරුවරුන්ගෙන් ළමයින්ට ඇති ආරක්ෂාව මොකක්ද? ගිලන් රථ සේවයේ ආපු මහත්වරුන්ගේ කාරුණික බවත්, ඇඹිලිපිටිය රෝහලේ  වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ක්‍ෂණිකව  මැදිහත්වීමත් නිසා මේ දරුවන්ගේ ජීවිතය බේරුණා. මේක මේ පාසලේ වුණා වගේ වෙනත් පාසලක ඇති නොවෙන්න  අධ්‍යාපන බලධාරින් ක්‍රමයක් හදන්න.


ගුරුවරුන් කියන්නේ කොරෝනා තිබුණා නම් ඔහොම කියන එකක් නෑ කියලා. එහෙම කියලා හදිසියේ අසනීප වන ළමයකුගේ වගකීම  ගන්නේ  කවුද?" සිද්ධිය ආරංචි වූ මව්පියෝ පැවසූහ.  කොවිඩ් ආසාදිත බවට සැක කරන පාසල් දරුවකු අසනීප වූ විටක හෝ හමු වූ විටක එම දරුවා මානසික පීඩනයකට ලක් නොවන අකාරයට ප්‍රතිකාර කිරීමට හෝ  රෝහල්ගත කිරිමට එක් ගුරුවරයකු හෝ පුහුණුකර ආරක්‍ෂිත ඇඳුම් කට්ටල හෝ ලබා දීමට අධ්‍යාපන බලධාරින් ක්‍රියාකළ යුතු බව ද මව්පියෝ පැවසූහ.

(අජිත් ලාල් ශාන්ත උදය සහ ජයන්ත නානායක්කාර)