රටම වහගෙන දුප්පත් මිනිසුන් අමාරුවේ දමා කොවිඩ් පාලනය කිරීමට සූදානම් නැති බවත් අවදානම් පිරිස් සිටින ප්‍රදේශ පමණක් හුදෙකලා කිරීම කොවිඩ් පාලන කාර්ය සාධක  බළකාය ගත් හොඳම හා ප්‍රායෝගික තීරණය බවත් කොවිඩ් පාලනය කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.බන්ධනාගාර කොවිඩ් ප්‍රශ්නය ඇති වුණේ පී.  සී.ආර්. පරික්ෂණවලට යොමු කෙරුණු දෙදෙනකු ඇතුළත් කිරිමේ සිද්ධියක් නිසා යැයි කී යුද හමුදාපතිවරයා පොලිසියට වයිරසය ආවේ කන්දකාඩුවෙන් යැයි ද ප්‍රකාශ කළේය. බන්ධනාගාරයේ හා පොලිසියේ කොවිඩ් ප්‍රශ්නය යම් පාලනයකට ගෙන ඇතැයි ද ඔහු කීය. ඉ යුද හමුදාපතිවරයා මෙසේ ද පැවැසීය.

 “අප කිසිම ආසාදිතයකු රටට හංගන්නේ නැහැ. ආසාදිතයන් ගැන ප්‍රදේශ ගැන සියලු තොරතුරු රටට නොසගවා කියනවා. එහෙම නොකර අපට මේ ගමන යන්න බැහැ. යම් මරණ ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බව ඇත්ත. නමුත් කොවිඩ් නිසාම සිදුවී ඇත්තේ මරණ පහයි. අනෙක් සියලු මරණ නිදන්ගත රෝග උත්සන්න වීමෙන් ඇති වුණු ඒවා.. ඒක තමයි වෙද්‍ය විශේෂඥයන්ගේ අදහස.



ජනතාව අප කියන විදියට හැසිරෙනවා නම් මේක තවදුරටත් පැතිරෙන්න ඉඩක් නැහැ.  ජනතාවට කරන්න තියෙන්නේ පොඩි දෙයයි. මුඛ. ආවරණ පැළඳීම, දුරස්ථභාවය පවත්වාගෙන යෑම හා අත් සේදීම කියන තුන විතරයි. මේක තමයි විය යුත්තේ. අප හුදෙකලා කළේ අවදානම් පිරිස් සිටින ප්‍රදේශ විතරයි. එහෙම නම් මේක අනෙකුත් ප්‍රදේශවලට යන්නේ කොහොමද. ඔබ ආරක්ෂා වෙනවා නම් රටක් විදියට අපට මේක වළක්වන්න පුළුවන්. ඔබ කොවිඩ් ආසාදිතයකු නොවී සිටීමට වග බලාගත යුතුයි. ඔබට රෝගය වැළඳී ඇත්නම් තව කෙනකුට පතුරවන්නේ නැතිව හිඳින එකයි මෙතනදී වැදගත් වන්නේ.


පී.සී.ආර්. පරික්ෂණ එකොළොස්දහසක් දක්වා අප දියුණු කරගෙන තිබෙනවා. මේක මුලින් තිබුණේ පන්දහසේ මට්ටමේ. ඉදිරියේදී කොවිඩ් ආසාදිත විය හැකි කණ්ඩායම් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ හා සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබෙනවා. අප පී.සී.ආර්. කරන්නේ ඒ අය ඉලක්ක කරගෙනයි. අපට ලැබෙන තොරතුරු අනුව කරන්නේ. යම් සංකූලතා තියෙනවා නම් රෝහලක් වෙත යන්න. රෝහල්වලට යන්න කිසිම විදියකින් බය වෙන්න එපා. රෝහල් කියන්නේ කොවිඩ් පතුරුවන තැන් නොවෙයි. සෑම රෝහලක්ම ඉතාම සුරක්ෂිතයි. නිදන්ගත රෝග තියෙන අය ආරක්ෂා කරගන්න කියලා අප ඉල්ලා සිටිනවා.

ලංකාවේ වැඩිපුරම හමුවන්නේ කිසිම රෝග ලක්ෂණයක් නැති කොවිඩ් රෝගීන්. ලෝකයේ වෙනත් රටවල පී.සී.ආර්. කරන්නේ රෝග ලක්ෂණේ  පෙන්වන අයට විතරයි.
නමුත් අපි එහෙම කරන්නේ නැහැ. රජය පී.සී.ආර්. පරික්ෂණවලට විතරක් දිනකට කෝටි හයක් වැය කරනවා. එක පරික්ෂණයක් රුපියල් හයදහසක් පමණ වෙනවා.  මේක විශාල මුදලක්. ඒ වගේම නිරෝධායනය වන තිස්දහසකට පමණ රුපියල් දසදහසේ ආහාර මලු ලබාදෙනවා. මේ වැය කරන්නේ රට ඉදිරියට  ගෙන යන්න තිබුණු මුදල්.  යම් යම් තෝරාගත් ප්‍රදේශ හුදෙකලා කිරිම කොවිඩ් කාර්ය සාධක බළකාය ගත් හොඳ තීරණයක්. අප රටම වහන්නේ නැහැ. සෑම දෙනාටම සහනයක් ලැබෙන විදියටයි අප මේ වැඩපිළිවෙළ ගෙන යන්නේ.


බන්ධනාගාරයේ යම් ප්‍රශ්නයක් ඇති වුණා. ඒ රෝගීන් හමු වුණේ නිරෝධායනය වූ පිරිසක් අතරිනුයි. පී.සී.ආර්. කරපු දෙදෙනකු දාලා ඒ ප්‍රශ්නය ඇති වුණා. යුද හමුදාව ඒ රැඳවියන් එළියට අරගෙන පුනානි මධ්‍යස්ථානයට රැගෙන ගොස් තිබෙනවා. ඒ ව ෙග්ම පොලිසියේත් යම් ප්‍රශ්නයක් මතු වුණා කන්දකාඩුවෙන් ඇති වුණු තත්වයක්. ඒකත් දැන් පාලනය කරගෙන යනවා.  පොලිස්පතිතුමා ඒ සඳහා සුවිශේෂී වූ වැඩපිළිවෙළක් යොදවා තිබෙනවා.'