සීගිරිය සංචාරක පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සිගිරිය ගල තරණය කරමින් සිටියදී හදිසියේ අසනීප වී රෝහල් ගත කිරීමෙන් පසු (31) මියගොස් ඇතැයි ගලේවල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම්. උපාලි කරුණාතිලක (58) නමැති තිදරු පියෙකි.  මාතලේ ජ්‍යෙෂ්ඨ
පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා සීගිරිය පොලිසිය හා සීගිරිය සංචාරක පොලිසියේ සේවා පිළිබඳව සොයා බැලීමට පැමිණ තිබිණි, ඒ අනුව සංචාරක පොලිස් ස්ථානය පිළිබඳව සොයා බැලු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරය සීගිරිය ඇතුළත සිංහපාදය ආසන්නයට ගමන් කොට ඇත්තේ එහි නිරීක්ෂණ කටයුතු සඳහා ය.

සීගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයසීගිරිය සිංහ පාදය දෙසට ගමන් කරමින් සිටියදී සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක උපාලි කරුණාතිලක මහතා පිටුපසින් ගමන් කරමින් සිට ඇති අතර සිංහ පාදය අසල දී එකවරම ඔහු අසනීප තත්වයකට පත්ව ඇද වැටී ඇතැයි පොලිසිය කියයි.  එහි පැමිණි අනෙකුත් පොලිස් නිලධාරීන් වහාම ඔහු පහළට  ඔසවාගෙන විත් සිගිරිය රෝහලට ඇතුළත් කොට තිබිණි. එසේ ඇතුළත් කරන අවස්ථාව වන විටත් ඔහු මියගොස් තිබුණු බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මියගිය පොලිස් පරීක්ෂක උපාලි කරුණාතිලක මහතාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (01) දඹුල්ල  මූලික රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබූ බව මාතලේ  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පැවසිය.  අනුරුද්ධ බණ්ඩාරනායක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ සීගිරිය හා අවට ප්‍රදේශවල තත්ත්වය සොයා බලා සංචාරකයන්ගේ පැමිණිම, දුරස්ථභාවය පවත්වාගෙන යෑම ආදී කරුණු පිළිබඳව උපදෙස් ලබාදීමට තමන් සීගිරිය සංචාරක පොලිසියට පැමිණි බවය. එම අවස්ථාවේ සිදු වූ මෙම සෝචනීය සිදුවීම පිළිබඳව තමා දැඩි කම්පනයට පත්ව සිටින බවද සඳහන් කළේය.


-කාංචන කුමාර-