එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු විවාහ කරගෙන සිටි පුද්ගලයකු පෙරේදා (25දා) රාත්‍රියේ පළමු
විවාහයේ පුතෙකු විසින් එල්ල කරන ලද මෝල්ගස් පහරකින් මියගොස් ඇතැයි මතුගම මූලස්ථාන ප්‍රධාන
පොලිස් පරීක්‍ෂක පරාක්‍රම උඩවත්ත මහතා කීය.මෙසේ මියගොස් ඇත්තේ මතුගම නවුන්තුඩුවේ පදිංචිව සිටි චන්ද්‍රස නානායක්කාර නම්වූ 70 හැවිරිදි අට
දරු පියෙකි.

මොහු එකම පවුලේ අක්කා සහා නංගී යන දෙදෙනාවම විවාහ කරගෙන සිටි බවත්, පළමු විවාහයෙන්

දරුවන් පහක්ද, දෙවන විවාහයෙන් දරුවන් තිදෙනකුද සිටින බවත් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
බහු විවාහයක් කරගෙන තිබුණද නීතියෙන් ඔහුගේ වරද වෙනුවෙන් කිසිවෙකු කටයුතු කර නැත. කෙසේ වෙතත් මෑතක සිට
මෙම පවුල් දෙක අතර නිතර ආරවුල් පැවැති බවද පොලිසිය කියයි.

පළමු විවාහයේ සිවුවන දරුවා අතින් මෙම ඝාතනය සිදුවී ඇති බවට පොලිසිය සැකකරන අතර, සිද්ධියට
අදාළව පළමු විවාහයේ පුතුන් දෙදෙනකු සහ දියණියක පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් මතුගම පොලිසිය ඊයේ (26දා) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර
තිබුණු අතර, කළුතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත්
මරණ පරීක්‍ෂණය සඳහා නියෝගයක් ලබාගැනීමට නියමිතව තිබිණි.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත, කළුතර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස්
අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත මතුගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක
පරාක්‍රම උඩවත්ත මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

(පයාගල - සුජිත් මාරියෝ, කොළඹ - එම්. සී. පෙරේරා, පොතුපිටිය - සුමිත් රණවක )