කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් දීර්ඝ කාලයක් ගුවන්තොටුපළ වසා දමා තැබීම හේතුවෙන් පත්ව ඇති මූල්‍ය අර්බුදයට සහනයක් ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ එක් එක් සේවක කාණ්ඩයේ සේවකයන් 560දෙනෙකු 'ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය' යටතේ විශ්‍රාම ගැන්වීමට රජය සුදානම් වේ.


ඒ අනුව විශ්‍රාම ගැනීමට කැමති සේවකයන්ට වන්දි ගෙවීම සදහා රුපියල් මිලියන 939ක පිරිවැයක් දැරීමට සිදුවන බවත්, පාරිතෝෂික පිරිවැය රුපියල් මිලියන 519ක් වැය වන බවත්,

ඒ අනුව මුළු පිරිවැය ලෙස රුපියල් මිලියන 1,458ක මුදලක් වැය වන බවට ගණන් බලා තිබේ.

එමෙන්ම එක් එක් කාණ්ඩයෙන් නිදහස් වන සේවක සංඛ්‍යාව අනුව මුදල් හා ආපසු ගෙවීමේ කාලය වෙනස් විය හැකි අතර, සාමාන්‍ය ආපසු ගෙවීමේ කාල පරිච්ඡේදය මාස 11ක් ලෙස දැක්වේ. එම වන්දි ගෙවීම සඳහා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමට ලබා දී ඇති කාලීන ණය පහසුකමෙන් රුපියල් බිලියන 1.5ක් උපයෝගී කර ගැනීමටද නිර්දේශ කර තිබේ.

සීමාසහිත ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ කළමනාකාරිත්වය, අධ්‍යක්ෂ මණ්ඩලය හා අදාළ බලධාරින් සමඟ සාකච්ඡා කර මෙම 2020 විශ්‍රාම යෝජනා ක්‍රමය සකස් කර තිබේ. ඒ අනුව වේච්ඡාවෙන් විශ්‍රාම යෑමට කැමති සේවකයන්ට 1971 අංක 45 දරණ කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ ගණනය කර ඇති වන්දි මුදල් ගෙවීමට තීරණය කර ඇත. මේ පිළිබඳ අධ්‍යයනය කළ ගුවන් සේවා සමාගමේ සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශ අනුව සමාගමෙහි ඉදිරි වසර තුනෙහි මෙහෙයුම්වලට හානියක් නොවන පරිදි මෙම විශ්‍රාම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කර තිබේ.

කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් ගුවන්තොටුපළ දීර්ඝ කාලයක් වසා තැබීම
හේතුවෙන් සිදුවන බලපෑම අවම කිරීම සඳහා ගුවන් සමාගම විසින් බොහෝ ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇති අතර, එමගින් මාසික පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 35 සිට මිලියන 21 දක්වා අඩුකර ගැනීමට හැකි වී ඇතැයි එම සමාගම පවසයි. වැටුප් සීමා කිරීම, ගුවන් යානා කල්බදු ගිවිසුම් ප්‍රතිව්‍යුහගත කිරීම, ගිවිසුම් නැවත සාකච්ඡා කර සම්මුතිවලට එළඹීම ඒ අතර වේ.

එම පිරිවැය තවදුරටත් අවම කර ගැනීම සඳහා මෙම ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය හා සාමූහික ෙක්වල් කිරීමේ ගිවිසුම් ප්‍රතික්ෙෂ්ප කිරීම සිදු කිරීමට නියමිතය.

ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය හරහා වර්ෂයකට ඇමෙරිකානු ඩොලර් මිලියන 07ක මුදලක් ඉතිරි කරගැනීමට හැකිවන බවද වාර්තා වේ. මෙම ස්වෙච්ජා විශ්‍රාම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා සංචාරක අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

- නවෝද්‍යා පවනි -