කොවිඩ් I9 වසංගතය පැවතියද සංචාරක ආකර්ෂණය පවත්වාගෙන යෑම සඳහා මෙරට වඩාත්ම ජනප්‍රිය ජාතික වන උද්‍යාන තුළ සිට, නව තාක්ෂණය උපයෝගී කරගනිමින්, සජීවී විද්‍යුත් විකාශයක් (Live Streaming) ආරම්භ කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය 4 වනදා සිට පියවර ගත්තේය.


ගෝලීය වසංගත තත්ත්වය මත සංචරණ සීමා පැනවීම හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය බිඳවැටුණද, වසංගතය පහව ගිය පසු විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි වැඩියෙන් යොමුකර ගැනීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කියයි.  මින්නේරිය, කවුඩුල්ල, යාල සහ උඩවලව ජාතික වන උද්‍යානවල ඇති දර්ශන සජීවී විද්‍යුත් විකාශය හරහා ලෝක ප්‍රජාවට 4 වනදා සිට දැක බලා ගත හැකි බව එම කාර්යාංශය සඳහන් කරයි.

එම වන උද්‍යානවල විශ්මිත දර්ශන හා සිදුවීම් ලෝක  සංචාරක ප්‍රජාව වෙත සජීවීව විකාශය කිරීම සිදුකරන අතර  මේ මඟින් ලංකාවේ ස්වභාව සෞන්දර්ය කෙරෙහි විදේශ සංචාරකයන් ආකර්ෂණය වනු ඇතැයි එම කාර්යාංශය අපේක්ෂා කරයි. මෙම එම විකාශය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සමාජ මාධ්‍ය සහ ඊට අනුබද්ධ වෙබ් අඩවිය ඔස්සේ අඳාළ වන උද්‍යානවල සිට සිදුකෙරේ.


මෙම ප්‍රවර්ධන ව්‍යාපෘතිය හා සම්බන්ධ වීමට ඕනෑම අයකුට හැකි අතර මේ ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ නිවාඩු අවස්ථා දිනාගැනීමේ වරම් සජීවී විකාශය නරඹන විදේශිකයන්ට තිලිණ කිරීමට බලාපොරොත්තු වන බව ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති, කිමාලි ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළා ය. මේ පිළිබඳ වැඩිදුර දැනුවත් වීම් www.srilanka.travel යන  වෙබ් අඩවිය මගින් හෝ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිල ෆේස් බුක් පිටුව වෙත පිවිස ලබාගත හැකි බව ද එම කාර්යාංශය කියයි.

 -තිළිණි ද සිල්වා-