අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ 2019 වර්ෂයේ කඩඉම් ලකුණු අනුව පැරැණි නිර්දේශය යටතේ විභාගයට මුහුණ දුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අසාධාරණයක් සිදුව ඇතැයි කියමින් ඊයේ(9) තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරියේදී විරෝධතාවක් පැවැත්විණි.  නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු - ජන ව්‍යාපාරය සංවිධානය කර තිබූ මෙම විරෝධතාවට පසුගිය වර්ෂයේදී උසස්පෙළ විභාගයට පැරැණි නිර්දේශය යටතේ ඉදිරිපත් වී විශ්වවිද්‍යාල වරම් අහිමි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවෝත් ඔවුන්ගේ මවුපියෝත් එක්ව සිටියහ.


පසුගිය වර්ෂයේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට පැරැණි නිරිදේශය යටතේ පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කඩඉම් ලකුණු අනුව අසාධාරණයක් සිදුව ඇතැයි විරෝග්ධතාකරුවෝ කියති. තංගල්ල මධ්‍යම බස් නැවතුම් පොළ ඉදිරිපිට විරෝධතා පුවරු අතැතිව  සටන් පාඨ කියමින් මොවුහු විරෝධතාවයේ නිරත වූහ.


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයකු වන වසන්ත මුදලිගේ පැවසූයේ, පැරැණි සහ නව විෂය නිර්දේශ දෙකක් යටතේ පසුගිය 2019 වර්ෂයේදී උසස්පෙළ විභාගයට ශිෂ්‍ය ශිෂ්‍යාවන්  පෙනී සිටි අතර එක් එක් විෂය ධාරාවලින් විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය ගැන රජයෙන් දැනුම් නොදුන් බවත් එසේ තිබියදී විෂය ධාරා දෙකටම සමාන කඩඉම් ලකුණු ලබා දී ඇති බවත්ය. ගතහැකි ඉහළම ප්‍රතිඵල ලබාගෙන ඉහළ ඉසෙඩ් අගයක් ලබාගත්තද විශ්වවිද්‍යාල වරම් අහිමි වූ ශිෂ්‍යයි ශිෂ්‍යාවන් සිටින බවද ඔහු සඳහන් කළේය. තවද විශ්වවිද්‍යාලවලට ඇතුළු කරගන්නා ශිෂ්‍ය පිරිස් දෙගුණ කරන ලෙස ද විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.


- අනීෂා මානගේ-