පසුගිය සතියේ දින කිහිපය ඇතුළත කලා ක්ෂෙත්‍රයේ විශාල පිරිසක් කොරෝනා වෛරසයට ආසාදනය වීම් හා ආශ්‍රිතයනි් ලෙස නිරෝධායනයට යොමුවීම් වාර්තා වන අතර දැනට තහවුරු කර ඇති ආකාරයට ශ්‍රී ලංකාවේ රංගන ශිල්පීන් හා ශිල්පිණියන් 14 දෙනෙකු කොරෝනා රෝගයට ධනාත්මකවී ප්‍රතිකාර සඳහා යොමුවී තිබෙන බව වාර්තාවේ.
ප්‍රවීණ සිනමා හා ටෙලි නිළියක්, නැගී එන ජනප්‍රිය ටෙලි නිළියක් හා නළුවන් දෙන්නෙකු මේ අතර සිටී.
මෙම රෝගය හඳුනාගත් ශිල්පීන් සියලු දෙනා රූපවාහිනී ටෙලි නාට්‍ය වලට සම්බන්ධවී එම පටිගතකිරීම් සඳහා පැමිණීමේදී කොරෝනා බෝ කරගත් අය බවද වාර්තා විය.

පසුගිය සතියේ සිකුරාදා වාර්තාවූ සිනමා නළු පුත්‍ර ටෙලි නළුවාට කොරෝනා වෛරසය
ආසාදනයවීමේ සිදුවීමෙන් පසුව තෙල්දෙණිය ප්‍රදේශයේ අදාළ ටෙලි කණ්ඩායමේ 21 ක් නිරෝධායනයට යොමු කර පීසීආර් පරීක්ෂණ පැවැත්වූ අතර එම ප්‍රතිඵල අනුව තවත් කිහිප දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගන්නට ලැබී ඇත.

මේ වනවිට කොරෝනා ආශ්‍රිතයින් වීම නිසා නිරෝධායනයට යොමුවී ඇති නළු නිළියන් ප්‍රමාණය 30 ක් පමණ වන බවද ක්ෂෙත්‍රයේ ආරංචි හෙළි කර තිබේ.
මේ හේතුවෙන් ඇතැම් මාලා නාටක නවතා දමන්නට සිදුවන තත්වයක්ද පැනනැගී ඇත. විධිමත් සෞඛ්‍ය ආරක්ෂන ක්‍රමවේද අනුගමනය නොකිරීම නිසා මෙම රෝගයට වැඩිදෙනා ගොදුරුවී තිබෙන බව සෞඛ්‍ය නිලධාරීන් කරුණු පැහැදිලි කර තිබේ.

මෙම රෝග තත්වයට ගොදුරුවූ නළු නිළියන් සිය නම් ගම් හෙළි කිරීම වළක්වන ලෙස මාධ්‍ය වෙත ඉල්ලීම් කර ඇති නිසා මේ දක්වා කොරෝනා වැළඳුණ ශ්‍රී ලංකාවේ නළු නිළියන්ගේ නම් කිසි තැනක ප්‍රසිද්ධවී නැත. ඇතැම් නළු නිළියන් තමන්ට රෝගය වැළඳුණ බව රසිකයින්ගෙන් සඟවන්නට සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් වල පැරණි ඡායාරූප ෂෙයාර් කරමින් කිසිදු රෝග තත්වයක් නැතැයි හඟවන්නට දරන උත්සාහයන්ද වාර්තාවී තිබේ.