මෙවර අයියා - නගෝ විශේෂාංගය හැඩ කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පි ඩග්ලස් රණසිංහයන් සහ ආදරණීය නැඟණිය ප්‍රවීණ රූපවාහිනි, ගුවන් විදුලි නිවේදිකාවක්, ළමා පුවත් රචිකාවක්, සරල ගී ගායිකාවක් හා සංගීත ප්‍රසංග වේදිකාවේ නිවේදිකාවක් ලෙස කලා ක්ෂේත්‍රයේ භූමිකා කිහිපයක්ම නිරූපණය කරන තිලකා රණසිංහ යි. ඒ සොඳුරු ළමා විය හා සොහොයුරු බැඳීමේ ආදරණීය මතක අවදි කරන්න මුලින්ම කතාබහට මුලපිරුවේ ගත්තේ ඩග්ලස් රණසිංහයන්..

"අපි ඉපදුණේ වෑඋඩවිල්ලි හත්පත්තුවේ කිරගන්දහේ කෝරලේ තෝරවතුර පළාතේ තෝරවතුර කියන පුංචි ගමේ. රණසිංහ පවුල කිව්වම මුළු ගමම දන්නවා. අපේ පවුලේ ළමයි හත්දෙනයි. පිරිමි ළමයි දෙන්නයි ගැහැනු ළමයි පස් දෙනයි.
මම හතර වැනියා. තිලකා තමයි පවුලේ බඩපිස්සි. අපි ආදරේට කිව්වේ ‘තිලකි‘ කියලා. තාත්තට කතා කළේ පප්පා කියලා. අපේ පප්පට ගොඩක් ඉඩකඩම්, කුඹුරු තිබුණා. ඉතින් කුඹුරු වැඩ කරන කාලෙට ගමේ හැමෝම එනවා වැඩ කරන්න. ඒ කාලෙට ගමේ සම වයසේ ළමයි එක්ක සෙල්ලම් කරනවා. සරුංගල් අරිනවා, තාච්චි පනිනවා. අක්කලා නම් සෙල්ලම් කරද්දි උයනවාත් එක්ක. අවුරුදු කාලෙට ක්‍රිකට් ගහනවා. රබර් ගහේ කිරි කැපුවම ගහේ පට්ටිය වගේ ඉතුරු වෙන ඒවා අරගෙන තමයි අපි බෝල හදා ගන්නෙ. ඒ විදිහේ හරිම සුන්දර ළමා කාලයක් තමයි අපිට තිබුණේ. ඒත් කාලයත් එක්ක අපිත් කාර්යබහුල වෙනකොට ඔය හැමදේම අපෙන් ටික ටික ඈත් වුණා."

ඒ සොඳුරු අතීතයේ රස මතක අවදි කරමින් තිලකා රණසිංහ අයියගේ කතාවට අඩුවැඩිය එකතු කළේ මෙහෙමයි.

" මම පවුලේ බාලයා නිසා ටිකක් හුරතලේට හැදුණේ. පොඩි කාලේ මම හරිම දඟ මල්ලක් කියලයි කියන්නේ. කරන තරමක් කළේ පිරිමි ළමයි කරන වැඩ. මමයි ලොකු අක්කලා අතරයි තිබුණු වයස් පරතරය නිසා එයාලත් එක්ක ගොඩක් සමීප සම්බන්ධයක් තිබුණේ නැහැ. ඒත් වෙසක් එකට අපි ඔක්කොම එකතු වෙලා කූඩු ගොඩක් හදනවා. අයියා තමයි මාව බයිසිකලෙන් ඉස්කෝලෙ එක්ක යන්නේ. අවුරුදු විස්ස වෙද්දි මම කාර් රේසුත් පැද්දා."

සිය ආදරණීය නැඟණිය එසේ කියද්දී ඩග්ලස්ට සිහි වුණේ තිලකා නංගිගේ තවත් එවැනි දඟකාරකම්ය. ඔහු සිනාසෙමින්ම ඒ මතක වදන්වලට පෙරලුවා.

" අවුරුදු කාලෙට අපි වැඩිහිටියන්ට වඳිනවා. තිලකත් අපි හැමෝටම වඳිනවා. පවුලේ බාලයා නිසා එයාට වඳින්න කවුරුත් නැහැ. තිලකාට ඒ ගැන හිතට හරි අමාරුයි. ඉතින් නංගි ගෙදර වැඩවලට උදව්වට ඉන්න ගෑනු ළමයට කියලා බලෙන් වන්ඳවා ගන්නවා. සමහර වෙලාවට සාරියකුත් ඇඳගෙන ඒ ළමයට උගන්වන හැටි අපි හොරෙන් බලන්නේ. ඉස්කෝල යන කාලේ නංගි ගේ සෙල්ලම කොච්චරද කියනවා නම් ගෙදර එද්දි තිලකගේ දත් ටික විතරයි පේන්නෙ. මුළු ඇඟම දූවිලිවලින් වැහිලා. "

තමන්ගේ දඟකාරකම් වගේම තිලකාට ද අයියාගේ දඟකාරකම් ගැන කියන්නටත් බොහෝ දේවල් තිබුණා. "අයියා හැමදේටම දක්ෂ, ක්‍රියාශීලී කෙනෙක්. අයියලා දෙන්නා ගියෙ ඉස්කෝල දෙකකට. දෙන්නා මිදුලෙ කොටුවක් ඇඳලා වැලි, කොළ දාලා ඒකේ බොක්සිං ගහගන්නවා. අයියගෙ නහය කැඩිලා තියෙන්නෙ බොක්සිං ගහලමයි. බිග්මැච් කාලෙට දෙන්නගෙම ඉස්කෝලවල යාළුවෝ ගේ ඉස්සරහින් යන්නේ හයියෙන් කෑ ගහගෙන.

තිලකා ඒ රස මතක අතර සිය සහෝදර බැඳීමේ බොහෝ සේ සංවේදී වූ සිදුවීමක මතකයක්ද එක් ව තිබුණා..

හැත්තෑව කැරැල්ල කාලේ අයියා හිටියේ නීති විද්‍යාලයේ. නිවාඩු ලැබුණට කොළඹ ඉඳන් කුරුණෑගලට එන්න බැරි තරම් ප්‍රශ්න.
අද කාලෙ වගේ ටෙලිෆොන් තිබුණෙත් නෑනෙ. අයියා එහෙන් එන්න පිටත් වුණු වාහනේ මඟදි අල්ලගෙන, ඒ අල්ල ගත්තු අයගේ නම් ලැයිස්තුවේ රණසිංහ කියන නමත් තිබුණු බව අපට ආරංචි වුණා. එදා ගෙදර එකම මළ ගෙයක් වුණා. අපිට අම්මව සනසගන්නම බැහැ, කරන දෙයක් හිතා ගන්නත් බැහැ. පස්සෙ බලනකොට එතන තිබිලා තියෙන්නේ රණසිංහ නෙවේ රණතුංග කියන නම. ඒ තරම් දුකක් නම් අපිට කවදාවත් දැනිලා නැහැ."

ඒ සංවේදී මතක අතරට සහෝදරත්වයේ ශක්තිය විදහා පෑ සිදුවීමක් ගැන කියන්නත් ඩග්ලස් අමතක කළේ නැහැ.

"ගුවන්විදුලියට සම්බන්ධ වුණාට පස්සේ මට හිතුණා නංගිවත් සම්බන්ධ කළා නම් හොඳයි කියලා. මම තමයි නංගිගේ ඇප්ලිකේෂන් එක දැම්මෙත්. මම එදා නංගි වෙනුවෙන් ගත්තු තීරණය ඇයට ලොකු ශක්තියක් වුණා යැයි හිතනවා. ඇය හරිම දක්ෂයි. බොහොම සංවේදීයි. පොඩි කාලේ ‘ලෝවැඩ සඟරාව‘, ‘සුභාෂිතය‘ කවි අම්මට ඇහෙන්න අපි හයියෙන් කියවන්න ඕනේ. නංගි තමයි ලස්සනටම කවි කියන්නේ.“

කාලෙකදී නංගියි මමයි එක ගෙදරක හිටියා. අවුරුද්දක් විතර යද්දී නංගි ඒ ගෙදරින් ගියා. එදා මට පුදුම දුකක් ඇති වුණේ. ඒ සිදුවීම මට නංගිව ගොඩක්ම දැනුණු මතකයක්. කාලයත් එක්ක අපි ගොඩක් කාර්‍යබහුල වුණත් අදටත් පුළුවන් හැම වෙලාවෙම අපි හමු වෙනවා. පවුලේ වැඩකටයුතුවලට එකතු වෙනවා. "

" ඒ කාලේ ගොඩක් වෙලාවට මම දෙයක් කරද්දි අයියගෙන් ඒ ගැන අහනවා. මම කොළඹට ආවම අයියා ඉගෙන ගන්න අවුරුදු දෙකකට එංගලන්තයේ සිනමා පාසලකට ගියා. ඒ කාලේ මට අයියගේ අඩුව ගොඩක් දැනුණා." ආදරණීය අයියණ්ඩිය ගැන සංවේදීම මතකය ගැන තිලකා මතක් කළෙත් දැඩි සෙනෙහසින්.

සුරේඛා නිල්මිණි ඉලංගකෝන්