මේ ව්‍යසනය තුළත් ආණ්ඩුවේ සුපුරුදු වංචා-දූෂණ කරළියට ඇවිත් තිබෙනවා. ආණ්ඩුවට උදවු කළ
ව්‍යාපාරිකයෝ ආණ්ඩුවේ සහයෙන්ම වේදනාවට පත් වෙච්ච ජනතාව මුදල් උපයන්න පාවිච්චි කරනවා. ඒ
තරම් නරුමකමක් තවත් නැහැ. ආණ්ඩුවේ සහයෝගයෙන් ඒ ව්‍යාපාරිකයෝ කොරෝනාව ගරානාවක් කරගෙන
යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේද කීය.


මෙය පවතින කොරෝනා තත්ත්වය තුළ මතුවෙලා තිබෙන ගැටලුකාරී තත්ත්වයන් ගැන ජනතාවගේ සහ ආණ්ඩුවේ
අවධානය යොමු කරවීම සිදුකළ යුතු මොහොතක්. කොරෝනා දෙවැලි රැල්ල ලෙස හ¾දුන්වන තත්ත්වය බරපතළ
ලෙස රට පුරා පැතිරෙමින් තිබෙනවා. මේ ගැන හරිහැටි ආණ්ඩුව අවබෝධ කරගෙන නැහැ. දිනපතා
රෝගීන් 400කට වැඩි ප්‍රමාණක් දැන් හමුවෙනවා. පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කළොත් මේ තත්ත්වය ඉහළ
යෑමේ හැකියාව තියෙනවා. රෝගීන් මියයෑම මාස හතටම 13දෙනයි. නමුත් මාසයක් ඇතුළත 21ක් දෙනෙක්
මිය ගිහිල්ලා. එක් දිනක් තුළ 5 දෙනෙක් හා 4 දෙනෙක් වශයෙන් මිය යන තත්ත්වයට පත්වෙලා. දෙවැනි
රැල්ල පළමුවැනි වතාවට වඩා පාලනයෙන් ගිලිහී ඇති බව මෙයින් පැහැදිලි වෙනවා.

රට විවෘතව තබාගෙන වසංගතයට මුහුණ දෙනවා නම් මතුවිය හැකි ගැටලු ගණනාවක් තියෙනවා. කොරෝනා
තත්ත්වය ඇතුළේ සේවක අවධානය බිඳවැටීම පාවිච්චි කරලා ආණ්ඩුව නැඟෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න
උත්සාහ කරන බව වාර්තා වෙනවා.

පෞද්ගලික අංශයේ විශේෂයෙන්ම වෙළෙඳ කලාපවල වැඩකරන සේවක සේවිකාවන්ට බරපතළ ගැටලු රාශියක්
තියෙනවා. රැකියා නැතිවීම්, බෝඩිම්වල පහසුකම් අවමවීම්, රජයෙන් ලබාදෙන රු. 5,000 දීමනාව
අහිමිවීම, ආයතනවලින් සුභසාධනය ලබාදෙන්න කියලා ආණ්ඩුව වගකීමෙන් බැහැරවීම වගේ දුෂ්කරතාවයන්
ගණනාවක් තියෙනවා. නමුත් ආණ්ඩුවෙන් ආයතනවලටත්, ආයතනවලින් ආණ්ඩුවටත් එකිනෙකා බෝලය පාස්
කරගන්නවා. සේවකයන් වෙනුවෙන් කිසිම නිශ්චිත  වැඩපිළිවෙළක් නැහැ. ස්වයංරැකියා කරන අයගේ
ආදායම් මාර්ග ඇඳිරි නීතිය දැම්මත් එහෙම නැති වුණත් සමාජ දුරස්ථකරණය සහ අනෙකුත් නීතිරීති නිසාත්
බිඳවැටිලා. මේ වෙලාවේ ආණ්ඩුව උදවු කළ යුත්තේ මේ අයට කියලා අපි හිතනවා.

ඊළඟට මධ්‍යම පරිමාණ හා සුළු පරිමාණ කර්මාන්තකරුවන්ට සහන පොලී ණය වැඩිපුර ලබාදෙන්න ඕනෑ.
මොකද ඒ අය විශාල ප්‍රමාණයක් ඉන්නවා. නමුත් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබාදෙන සහනය
ස්වයං රැකියා සහ සුළු පරිමාණ කර්මාන්තකරුවන්ට තාම ලබාදී නැහැ. ඒ අයට සහන ලබාදිය යුතුයි.

අධ්‍යාපනය සම්බන්ධයෙනුත් විශාල ප්‍රශ්න ප්‍රමාණයක් පැන නැඟිලා. ආණ්ඩුව යොදලා තියෙන උත්තරය
ඔන්ලයින් ක්‍රමය. නමුත් එය නිසියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැමෝටම මේ පහසුකම් නැහැ.
මවුපියන්ට ඒ වෙනුවෙන් මුදල් සොයාගන්න බැහැ.

පොදු ජනතාවගේ පැත්තෙන් සෞඛ්‍ය නීතිරීති පිළිපදින්න වැඩපිළිවෙළක් හදන්නෙ නැතිව වැඩක් නැහැ.
බස්නාහිරි පළාතේ ඇඳිරි නීතිය ඉවත් කළාම ජනතාව ගැවසෙන එක පාලනය කරන්න නම් ඊට අදාළ
වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ.

කොරෝනා ප්‍රශ්නය තවත් අවුරුදු දෙක තුනක් යා හැකි බව සෞඛ්‍ය විශේෂඥයන් කියනවා. ඒ අනුව
ජනතාවට අත්‍යවශ්‍ය කටයුතු කරගන්න අලුත් වැඩපිළිවෙළක් හදන්න ඕනෑ. එහෙම නොකර ආණ්ඩුව ජනතාවට
‍ෙදාස් කියන්න පටන් ගෙන. ඒකෙන් වෙන්නේ රෝගය පැතිරීමත් මියයෑම් ගණනත් පාලනය කරගත නොහැකි
විදිහට වැඩි වීමයි. අපි අවධාරණය කරන්නේ මුළු සමාජයටම ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක්
නිර්මාණය කරන්න.


ආණ්ඩුව යමක් කරන අතර අඩුපාඩුකම් රාශියක් තියෙන බව අපි කියන්නේ මේ නිසයි. උද්දච්චකම් නැතිව
අඩුපාඩුකම් තේරුම් ගන්නත් ඕනෑ. නමුත් ආණ්ඩුව වැඩ කරන්නේ ජයග්‍රහණ තමන්ගේ නමට ලියාගෙන අර්බුද
ජනතාව පිට පටවන්නයි.

අපි දකින්නේ වසංගතයට මුහුණදීමට අවශ්‍ය ආයතන සියල්ල එකතු කරගනිමින් සාමූහික ප්‍රයත්නයක් දැරිය
යුතු බවයි. නමුත් ආණ්ඩුවේ එක එක්කෙනා තම තමන්ට අදාළ ප්‍රකාශ කරමින් ඒකපුද්ගල රංගනයන්
කරනවා. අනෙක් අයගේ අදහසට ගරු නොකර තමන්ගේ අඩුපාඩුකම් නොදැක තමන් කරන සියල්ල හරියි කියලා
හිතලා කරන ඒකපුද්ගල රංගනවලින් අපට ඉතිරි වෙන්නේ ඛේදවාචකයක්.

ආණ්ඩුව රෝගය පාලනය කිරීමට අවශ්‍ය බර තබා නැති බව ලබන අවුරුද්දේ අය-වැය ලේඛනයේ සෞඛ්‍ය
අමාත්‍යාංශයට වෙන් කර තිබෙන මුදලින් පැහැදිලියි. එය රු. කෝටි 15,947ක්. මෙය කෙසේවත්
ප්‍රමාණවත් නැහැ. පවුලේ අයට ගොඩක් වෙන්කර ගන්නවා. හැබැයි වැඩිම වගකීමක් තිබෙන සෞඛ්‍ය
අමාත්‍යාංශයට අවශ්‍ය මුදල ලබාදී නැහැ. අඩුම තරමේ 2020 අවුරුද්දට වෙන්කළ රු. කෝටි
15,957ක මුදලටත් වඩා අඩු මුදලක් ලබන වසරට වෙන් කරන්නේ. ඒ වගේම රෝගය සම්බන්ධයෙන්
නිවැරැදි වාර්තා ලබාගැනීම නොකර ඉන්න උත්සාහ කරනවා.

මේ ව්‍යසනය තුළත් ආණ්ඩුවේ සුපුරුදු වංචා-දූෂණ කරළියට ඇවිත් තිබෙනවා. ආණ්ඩුවට උදවු කළ
ව්‍යාපාරිකයෝ ආණ්ඩුවේ සහයෙන්ම වේදනාවට පත් වෙච්ච ජනතාව මුදල් උපයන්න පාවිච්චි කරනවා. ඒ
තරම් නරුමකමක් තවත් නැහැ. ආණ්ඩුවේ සහයෝගයෙන් ඒ ව්‍යාපාරිකයෝ කොරෝනාව ගරානාවක් කරගෙන.

විදේශගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන ඒම භාරව ඉන්නේ ජනාධිපතිතුමාගේ හිතවතකුගේ ආයතනයක්.
විදේශගත ලාංකිකයන් ගෙන්වා ගැනීමේදී ගුවන් ටිකට්පත්වලට විශාල මුදලක් අයකරනවා. ඒ වගේම පරීක්ෂණ
කරන්න සහ නිරෝධායනයට ඔවුන් විශාල මුදලක් වැය කරනවා. නමුත් මෙරටදී ඒ පහසුකම් බොහොමයක්
ලබාදෙන්නේ නැහැ. අමතර මුදල් ගසාකෑමේ ක්‍රියාමාර්ගත් අනුගමනය කරනවා. මේ වැනි නරුම
සංස්කෘතියක් කොරෝනාව තුළ නිර්මාණය වෙලා. හදිසියේ වෛද්‍ය උපකරණ ගෙන්වා ගැනීමේදී ආණ්ඩුවේ
ව්‍යාපාරික හිතවතුන් ගසා කෑමක යෙදී සිටිනවා. මේ පිළිබඳව විවිධ අය තොරතුරු හෙළිකර තිබෙනවා.
නමුත් ආණ්ඩුව ඒ පිළිබඳ කිසිම පැහැදිලි කිරීමක් කළේ නැහැ. තමන්ට උදවු කළ ව්‍යාපාරිකයන්ට හම්බ කර
ගැනීමේ මාර්ග හදා දීලා.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට තවදුරටත් නිදහසට කාරණා නැහැ. ජනාධිපතිවරයාට ඇති තරම් බලය
තියෙනවා. 2/3 පාර්ලිමේන්තු බලයකුත් තියෙනවා. 20 වැනි සංශෝධනය සම්මත කරගෙන ජනාධිපතිවරයාට
ඇති තරම් බලය තියෙනවා. දැන් වැඩ පෙන්වන්න ඕනෑ. ජනතාව ඒ ගැන බලාගෙන ඉන්නවා. හොඳ වැඩ
වෙනුවෙන් බලය පාවිච්චි කරන්න කියලා අපි අවධාරණය කරනවා.

අනුරාධා හේරත්