කොරෝනා වයිරසයන් බැටකන ඇමෙරිකාවේ ජනාධිපතිවරණය දැන් අවසන්ය එහි ඡන්ද ගණනය දැන් පැවැත්වෙයි. රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි සහ අවසන් ධුර කාලය අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර, ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා  ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන  77 හැවිරිදි ජෝ බයිඩන් ඔබාමා පරිපාලනය සමයේදී (2009 සිට 2017 දක්වා) උප ජනාධිපති ධුරය හෙබවූයේ ය. බයිඩන්,  සෙනෙට් සභික කමලා හැරිස්, සිය උප ජනාධිපති ලෙස තෝරා ගෙන ඇත. කමලා හැරිස්, දකුණු ඉන්දීය සම්භවයක් ඇති කාන්තාවකි.
බයිඩන් ජයග්‍රහණය කළහොත් කමලා හැරිස් ඇමෙරිකාවේ උප ජනපති ධුරයට පත්වන්නේ එම ධුරයට පත්වන පළමු කාන්තාව ලෙසය. 74 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ වත්මන් උප ජනපති ධුරය හොබවන මයික් පෙන්ස් යළිත් එම ධුරය වෙනුවෙන් තරග වදී.

කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය ඇමෙරිකාවය. වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. කොරෝනා හේතුවෙන්, ජනාධිපතිවරණය පැවැත්වූයේ සෞඛ්‍ය නිර්දේශවලට අනුවය. කල්වේලා ඇතිව ඡන්දය ප්‍රකාශ කිරිමට ද ඇමෙරිකානුවන්ට අවස්ථාවක් ලබා දී තිබුණි. ඒ අනුව, පසුගිය සති අන්තය වෙද්දී, මිලියන 80 ක් දෙනා ඡන්දය ප්‍රකාශ කර  තිබුණි. ට්‍රම්ප් සහ බයිඩන් ද ඒ අතරවෙති. මීට පෙර පැවැත්වුණු ජනාධිපතිවරණ මෙන් නොව, මෙම ජනාධිපතිවරණයට වැය කළ මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 14 කි. ඒ අනුව, ඇමෙරිකන් ඉතිහාසයේ වැඩිම මුදලක් වැය කෙරෙන ජනාධිපතිවරණය වූයේද මෙයයි. ඇමෙරිකාවෙන් වයිරස රෝගීන් බුරුතු පිටින් හමුවෙද්දී, ට්‍රම්ප් එරට හදිසි තත්වයක් ප්‍රකාශ කළේපසුගිය මාර්තු 13 වැනිදාය. එසේ වුවත්, වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීම අසීරු විය. ඇමෙරිකාවේ කොරෝනා ඔඩුදුවනන් හේතු වූයේ ජනපති ට්‍රම්ප් ප්‍රමුඛ ඔහුගේ පරිපාලනය වයිරසය නිසි ලෙස කළමනාකරණය නොකළෙ යයි චෝදනා එල්ල වී තිබේ. වයිරස වසංගතය මැද, වයිරස වසංගතයට නොදෙවැනි වර්ගවාදී ප්‍රචණ්ඩ ක්‍රියා ඇමෙරිකාව වෙළාගත්තේය. ඒ, ජෝර්ජ් ලොයිඩ් නමැති කළු ඇමෙරිකානුවා සුදු පොලිස් නිලධාරියකු අඩන්තේට්ටම් හමුවේ ඝාතනයවීම මුල්කොට ගනිමිනි.


ඇමෙරිකාවේ කළු ජාතිකයන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්, ඇමෙරිකාවේ ප්‍රධාන නගර පුරා බලැක් ලයිය්ස් මැටර්" යන තේමාව යටතේ විරෝධතා ඇරැඹිණ. කළු සුදු භේදයකින් තොරව, ඇමෙරිකානුවෝ ඊට එක් වූහ. එම විරෝධතා ප්‍රචණ්ඩ වෙද්දී, අවනීතිය රජ කරන්න විය. ප්‍රචණ්ඩ විරෝධතාකරුවන් මර්දනයට පොලිසිය යෙදවීමට ට්‍රම්ප් ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දීම ගින්නට පිදුරු දැමීමක් විය. 2016 වසරේ ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජයග්‍රණය කළේ, චීනය විසින්  උදුරා ගනු ලැබූ ඇමෙරිකානුවන්ගේ  රැකියා නැවත ඇමෙරිකානුවන්ට ලබා දෙන බවට ප්‍රතිඥා කරමිනි. එම  ප්‍රතිඥාව යම්තාක් දුරකට ඉටු කිරීමටත් ඇමෙරිකාවේ ආර්ථිකය නැංවීමටත් ට්‍රම්ප් පරිපාලනය සමත් විය. එහි ප්‍රතිඵලය වූයේ චීන ඇමෙරිකා සබඳතා දිනෙන් දින පිරිහීමය.  

අවසානයේ ඇමෙරිකාව චීනයටත් චීනය පෙරළා ඇමෙරිකාවටත් තීරු බදු පනවද්දී, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවුල් විය. ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධයක් නිර්මාණය විය. පසුගිය දෙසැම්බරයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් කොවිඩ් 19 නව කොරෝනා වයිරසය හිස එසවූයේ, ඇමෙරිකා චීන වෙළෙඳ යුද්ධය තවත් උත්සන්න කරමිනි. ඇමෙරිකාවේ කොරෝනා මරණ දිනෙන් දින ඉහළ යද්දී, වයිරසය  ලොව පුරා පැතිරුණේ චීන රජය එය නිසි ලෙස පාලනය කර නොගැනීමෙන් යැයි ට්‍රම්ප් දිගින් දිගටම දොස් පවරන්න පටන් ගත්තේ, කොවිච් 19 නව කොරෝනා වයිරසය ‘චීන වයිරසය' යනුවෙන් එය හඳුන්වා  දෙමිනි.


ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් ද, චීනය ලොවට කරන 'කෙණෙහිලිකම්” සම්බන්ධයෙන් විරෝධය පළ කර  ඇති නමුත්, චීනය සම්බන්ධයෙන්  ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය  කිරීමට සැරසෙයි. මේ වනවිට ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජගත් සංවිධාන කීපයකින්, ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන්, පරිසරය සුරැකිමේ පැරිස් සම්මුතියෙන් ඇමෙරිකාව ඉවත් කරගෙන තිබේ. තමන් ජනපති වුවහොත් ඒ සියලු  ගිවිසුම් හා සංවිධාන සමග යළි ඇමෙරිකාව එක් කරන බවත්, විදෙස් ප්‍රතිපත්ති ශක්තිමත් කර ගැනීමට කටයුතු කරන බවත් බයිඩන් අවධාරණය කර තිබේ. ජනාධිපති ට්‍රම්ප් ජෙරුසලම, ඊශ්‍රායලයේ අගනුවර ලෙස නම් කළේ පලස්තීනුවන් අසරණ කරමිනි.

ඊශ්‍රායල පලස්තීන අර්බුදයට පිළිගත හැකි පැහැදිලි විසඳුමක් දෙන බවට ද  තව සිවු වසරක් ජනපති ධුරයේ  සිටියොත්, තමන්ට දෙවියන්ගේ පිහිටයි" යැයි පලස්තීන පාලන අධිකාරිය පවසා තිබේ. ජනමත සමීක්ෂණ අනුව, ඇමෙරිකානුවන්ගෙන් සියයට 80 කට වැඩි පිරිසක් ට්‍රම්ප් ප්‍රතික්ෂේප්ප කර ඇතැයි පැවැසෙයි. ජනපති ට්‍රම්ප්  ජය හෝ පැරදුම හෝ තීරණය කරන ප්‍රධාන සාධකය වනු ඇත්තේ කොරෝනා ය. ජනපති ට්‍රම්ප් විද්‍යාව ගැන හෝ සමාන්‍ය දැනීම ගැන හෝ තැකීමක් කරන්නේ නැත. වයිරසයෙන් ආරක්ෂා වීමට සෞඛ්‍යය උපදෙස් පිළිපඳිමින් මුහුණු ආවරණ පැළඳීම සම්බන්ධයෙන් හෝ සමාජ  දුරස්ථභාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් හෝ ඔහු තැකීමක් කරන්නේ ද නැත. තමන් දිගටම ධුරයේ සිටියහොත්, මුහුණු ආවරණ අනිවාර්ය නොකරන බවත්, රට  ලොක්ඩවුන් කිරීම් නොකරන බවත්  ට්‍රම්ප් පවසා ඇත.


මෙම 2020 වසර  අවසන් වීමට පෙර වයිරසය ආසාදනය වීම වළක්වන එන්නතක් ජනතාවට ලබා දෙන බව ට්‍රම්ප්  පවසා ඇතත්, ඇමෙරිකන්  වෛද්‍යවරුන් සහ ඖෂධ සමාගම් පවසා ඇත්තේ එන්නතක් එළිදැක්වීම ලබන 2021 දී සිදුවනු ඇති බවය.  කොරෝනා වසංගතය සම්බන්ධයෙන්, ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් දරන්නේ ට්‍රම්ප්ට වඩා මුළුමනින්ම වෙනස් මතයකි. තමන් ජනාධිපති ධුරයට පත්වුවහොත් පළමු දිනයේ පටන් තමන් කරන්නේ වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම යැයි බයිඩන් පවසා තිබේ. ඒ සම්බන්ධයෙන් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද ඔහු පවසයි. මුහුණු ආවරණ අනිවාර්ය කරන බවත්,  සෞඛ්‍ය නිර්දේශ අනුව, රට ලොක්ඩවුන් කරන බවත් හෙතෙම වැඩි දුරටත් පවසා ඇත. එපමණක් නොව, වයිසරය නිසි ලෙස පාලනය නොකළ බැවින් ට්‍රම්ප්ට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට ද බයිඩන්  සුදානමින් සිටී.


ඇමෙරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව,
ජනාධිපතිවරයා රටේ නායකයාය. එම තනතුර සෑම අතින්ම උත්තරීතරය. ඇමෙරිකාවේ සේනාධිනායකයා වන්නේද ජනාධිපතිවරයාය. ඇමෙරිකාවේ ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයකු පත් කර ගැනීම සීදු කරන්නේ, සිවු වසරක ධුර කාලයක් සඳහා ය. එසේ පන්වන ජනාධිපතිවරයකුට සිය සිවු වසරක ධුර කාලය අවසන් වීමත් සමඟ එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීමට අවස්ථාවක් හිමිවෙයි. එහිදී ජයග්‍රහණය කළහොත්, තවත් සිවු වසරක ධුර කාලයක් හිමිවෙයි. ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ සැලැසී ඇත්තේ ජනාධිපතිවරයකුට එම ධුරයේ වාර දෙකක් සේවය කිරීම සඳහා පමණි. එසේ කාල සීමාවක් නිර්ණය කිරීම සිදුවූයේ මීට වසර 69 කට පෙර, 1951 දී සම්මත වූ ව්‍යවස්ථා සංශෝධනයකිනි.


1951 වසරට පෙර ඇමෙරිකන් ජනාධිපතිවරයකුගේ ධුර කාලය සිවු වසරකට සීමා වූයේ නැත. ජනාධිපතිවරයාගේ ධුරය අහිමිවීම සිදුවූයේ ජනාධිපතිවරයා ධුරයෙන් පහ කළ විට, ඉල්ලා අස්වූ විට, මියගිය විට හෝ අතුරු මැතිවරණයක් පැවැත්වීමෙන් පමණි.ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇතිවුවහොත්, ජනපති ධුරය සඳහා නම් කෙරෙන්නේ උප ජනාධිපතිවරයාය. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  විධිවිධාන සැලසී තිබේ. පසුගිය ඔක්තෝබර් දෙවැනිදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන් පසු රෝහල් ගත කෙරුණි. බොහෝ දෙනා විශ්වාස කළේ ට්‍රම්ප්, ජනපති බලතල උප ජනපති මයික් පෙන්ස්ට පැවැරෙනු ඇති බවය. කෙසේ නමුත් එවැන්නක් සිදු නොවීණි. ට්‍රම්ප් කොරෝනාවෙන් මිදී, දින තුනක් ඇතුළත යළි ධවල මන්දිරයට පැමිණියේ, තමන්ට කොරෝනා  ආසාදනය වීම දේවල් ආශිර්වාදයක් යැයි පවසමිනි.


 ට්‍රම්ප්ට කොරෝනා ආශිර්වාදයක් වුවත්, බොහෝ ඇමෙරිකානුවන්ට එය එසේ නොවෙයි. ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකිවනේ  අවුරුදු 35 ට වැඩි, ඇමෙරිකානු පුරවැසියකුට පමණි. ඇමෙරීකන් ජනාධිපතිවරණය යනු ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියකි. ඇමෙරිකන් ඡන්ද දායකයා  ජනාධිපතිවරණයකදී, සෘජුවම තමන්  කැමැති අපේක්ෂකයා ජනපති කිරීමට  ඡන්දය ලබා දෙන්නේ ද නැත. ඡන්දදායකයකු ජනාධිපතිවරණයේ දී තමන් කැමති අපේක්ෂකෙයාට ඡන්දය දුන් විට ඇත්තෙන්ම ඡන්ද දායක ඔහු හෝ ඇය කරන්නේ තම තමන්ගේ ජනපදයේ ඡන්ද වරම් හිමි කර දෙන පුද්ගලයන් සංඛ්‍යාව එනම් “ජන්ද ගණය" (ඉලෙක්ටෝරල් කොලේජ් යනු මෙයයි.) තෝරාදීම සඳහා ඡන්දය පාවිච්චි කිරීමය.


සෑම ජනපදයකම එය කොංග්‍රසය (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) නියෝජනය කරන මන්ත්‍රීන් සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් සහ සෙනෙට් මන්ත්‍රී  මණ්ඩලය නියෝජනය කරන  දෙදෙනකුට එක් අයකු බැගින් වන සේ සංඛ්‍යාවක් ඡන්ද වරම හිමි පුද්ගලයන් ලෙස තෝරා පත් කළ හැකිය.  (ඇමෙරිකන් පාර්ලිමේන්තුව එසේත් නැතිනම් කොංග්‍රසය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයකින් සමන්විතය.)


එසේ ඡන්ද වරම හිමි අය ෆෙඩරල් රජයේ නිලතල දරන්නන් විය යුතු වන්නේ ද නැත.සමහර ජනපදවලින් මේ අය තෝරා ගැනෙන්නෙ , දේශපාලන පක්ෂ සම්මේලනවලදීය. එහිදී ඡන්ද වරම හිමි සංඛ්‍යාවට අයත් වන පුද්ගලයන් නම් කිරීමේ අවස්ථාව වැඩිම ඡන්දය ලබන පක්ෂයට හිමිවෙයි. පරාජිත අපේක්ෂකයන්ට එම අවස්ථාව හිමි වන්නේ නැත. මෙසේ ජය ලබන ඡන්ද වරම හිමි සියල්ලන්ම තම ජනපදයේ  අගනුවරට රැස්වී, ජනපතිවරයාට සහ උප ජනපතිවරයාට ඡන්දය ප්‍රකාශ කරනු ඇත. මේ අයට, ව්‍යාවස්ථාවට අනුව, කැමැති ඕනෑම කෙනකුට ඡන්දය ප්‍රකාශ කළ හැකි නමුත්, ඔවුන් තමන් ප්‍රතිඥා දී  ඇති අයට හැර වෙනත් අයකුට ඡන්දය දීමක් කරන්නේ නැත. මෙම ප්‍රකාශිත ඡන්ද කොංග්‍රසය වෙත යවනු ලැබේ.  ජනාධිපතිවරණයෙන් අපේක්ෂකයන් නිල වශයෙන් තෝරා ගැනීම සිදුවන්නේ ලබන වසරේ එනම් 2021 ජනවාරියේ ඡන්ද ගණන් කිරීමෙන් පසුවය.


එහිදී මුළු ඡන්ද ප්‍රමාණයෙන් අඩකට වඩා ඡන්දය ලබා ගන්නා අපේක්ෂකයෝ පිළිවෙළින් ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා වශයෙන් පත් වෙති. එසේ නොවන අවස්ථාවලදී, පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් එය සිඳුවෙයි.  මෙවැනි අවස්ථාවක් පළමු වරට උදා වී ඇත්තේ 1800 වසරේදීය. දැනට භාවිත වින ක්‍රමයට අනුව, ජනපදයක වැඩි ඡන්ද ලබන පක්ෂයට එම ජනපදයට හිමි සියලු ඡන්ද ගණවලට (ඉලෙක්ටෝරල් කොලේජ්) අයත් ඡන්ද හිමිවේ. ඒ නිසා ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් ඡන්ද නොලැබු අපේක්ෂකයකුට ජය ගැනීමේ අවස්ථාව තිබේ. 1876 දී සහ 1888 දී මේ  අවස්ථාව උදා වූ අතර, ජනාධිපති ධුරයට පත් වූයේ ජනතාවගේ සම්මත ඡන්දයෙන් වැඩි ප්‍රමාණයක් ලබා ගත් තැනැත්තා නොව ඊට අඩු ප්‍රමාණයක්  ලබමින් ඡන්ද ගණයේ (ඉලෙක්ටෝරල් කොලේජ්) ඡන්ද වැඩි ප්‍රමාණයක් ලබා ගත් තැනැත්තාය.