11.00pm update
ඇමරිකානු ජනපතිවරණයෙහි අවසන් ගණනය එරට වේලාවෙන් සිකුරාදා (6) උදෑසන සිට ආරම්භ වී තිබේ. මේ වනවිටත් නිල නොවන ප්‍රතිඵල ආරංචි මගින් බයිඩෙන්ට ජයග්‍රහණය ලබාදී අවසන්ය.

 තරගකාරී අපේක්ෂකයින් දෙන්නා වූ වත්මන් ජනපති රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප් 214 හා ප්‍රතිවාදී ඩිමොක්‍රටික් අපේක්ෂක බයිඩෙන් 264 තීරණාත්මක කඩඉමක සිටියදී 270 පසුකරන්නේ කවුද යන්න අවිනිශ්චිත බවට හරවමින් ඉතිරි ජනපද 5 ප්‍රතිඵල නිකුත් නොකර තිබුණි. මීට හේතුවූයේ 

අතිවිශාල ලෙස පැවති තැපැල් ඡන්ද ගණනයට පැවති ප්‍රායෝගික බාධා කිහිපයක් හා ජනපද කිහිපයක ඡන්ද දූෂණ සිදුව ඇති නිසා ගණනය නතර කරන්නැයි ට්‍රම්ප් නීතිය හමුවට ගිය නිසාය.

ට්‍රම්ප් කියා සිටියේ, 'මැතිවරණ ප්‍රතිඵල කුමන්ත්‍රණයක් බවත්  මැතිවරණ ජයග්‍රහණය තමාගෙන් උදුරා ගැනීමට ඩිමොක්‍රටික් පාක්ෂිකයින් වෙරදරන බවත්ය. නමුත් ට්‍රම්ප් මුලදී මෙය ඔප්පු කිරීමට කිසිදු තර්කයක් කිසිදු චෝදනාවක් ඉදිරිපත් කළේ නැත. 

ට්‍රම්ප් වෙනුවෙන් නීතීඥයින් කටයුතු කළ මුත් මිචිගන්හි ප්‍රාදේශීය අධිකරණයක් රිපබ්ලිකන් පක්ෂය විසින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. බදාදා සවස විනිසුරුවරයා පැවසුවේ - ගණන් කිරීම නීත්‍යානුකූල බවත් නතර කිරීම නිවැරදි නැති බවත්ය. 

ජෝර්ජියාවේ රාජ්‍ය ලේකම් බ්‍රැඩ් රෆෙන්ස්පාර්ගර් පැවසුවේ කිසිදු ගැටලුවක් නැති බවත් අවසාන ඡන්ද සංඛ්‍යාව කරා අප ගමන් කරන විට ඊළඟ පියවර ගැන සිතිය හැකි බවත්ය. ආන්තිකය අඩු වුවහොත් පමණක් ජෝර්ජියා ඡන්ද නැවත ගණනය සිදු කළ හැකි බව ඔහු කියා තිබුණි.

ට්‍රම්ප් නැවත පවසා ඇත්තේ ප්‍රතිඵල ගණනය පිළිනොගන්නා බවයි. තමා ධවල මන්දිරයේ රැඳී සිටින බවයි.

බයිඩෙන් ඡන්ද ව්‍යාපාරය පවසන්නේ පරාජය භාරනොගෙන ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කළහොත් එක්සත් ජනපද රජයට ඔහුව ඉවත් කර ගත හැකි බවයි. 

ජයග්‍රහණය කරා යන ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩෙන්ගේ නිවසේ සිට සැතපුමක් ඇතුළත පියාසර තහනම් කලාපයක් ඉදිකරන්නට කටයුතු යෙදුනේ ඔහුගේ ආරක්ෂාව සලකාය. බයිඩෙන් ජීවත් වන්නේ විල්මින්ටන්හි ඩෙලවෙයාර් හි ය.

මේ අතර නිල නොවන ඡන්ද ප්‍රතිඵලයන් ගැන මේ වනවිට ඇමරිකානු මාධ්‍ය උනන්දුවෙන් පුවත් පළ කර ඇත.


ඇරිසෝනාවේ ජයග්‍රහණයටද බයිඩෙන් ළඟාවේ ඡන්ද ඒකක 11 කින් බයිඩෙන් ඉදිරියෙනි.

ජෝර්ජියාව: ට්‍රම්ප් ඉදිරියෙන් සිටියේය. දැන් බයිඩෙන් ඉදිරියෙන් සිටී. ජයග්‍රහණය ලදොත් බයිඩෙන්ට ඒකක 16 කි.

නෙවාඩා: ජයග්‍රහණයටද බයිඩෙන් සමත් බව පෙනෙන්නට තිබේ. එසේ වන්නේ නම් ඔහුට ඡන්ද ඒකක 6 ක් ලැබේ.

පෙන්සිල්වේනියාව: බිඩෙන්ගේ ජය තහවරු කරන බවක් පෙනෙන අතර ඡන්ද ඒකක 20 ක් ඔහු එමගින් ලබාගනු ඇත.

මේ අතර ඉතිරි ජනපද වලින් බයිඩෙන් පරාජය වනු ඇති එක ජනපදය උතුරු කැරොලිනාව බව පෙනී ගොස් ඇත. ට්‍රම්ප් එහිදී ඒකක 15 ක් රැස් කරනු ඇත.

ඒ අනුව දැනට පළව ඇති අනාවැකි අනුව ට්‍රම්ප් 214 සිට 229 දක්වා ගමන් කළත් 270 පසුකරන්නේ නැත.

බයිඩෙන්ට 264 සිට 306 දක්වා 270 සීමාව අභිබවා ගමන් කිරීමට අවස්ථාව ඇති අතර ඔහු ඒ අනුව නිසැක වශයෙන්ම වාර්තාගත ලෙස ඇමරිකානු ජනපතිවරණය ජයගනු ඇත.