වොෂින්ටනයේදීය (රොයිටර්) ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (24) නිල වශයෙන් සිය ප‍්‍රතිවාදියා වන බයිඩන්ට බලය පැවරීමට කැමැත්ත පළ කළේය.
ඒ අනුව, ඇමෙරිකන් රාජ්‍ය පරිපාලන ආයතනයේ, ට්‍රම්ප්ගේ පරිපාලන කණ්ඩායම, බයිඩන්ගේ පරිපාලන කණ්ඩායමට බලය පවරා දීම නිල වශයෙන් ආරම්භ විය. ඒ, පසුගිය 3 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ජෝ බයිඩන් බව පිළිගනිමිනි.
බලය පවරා දීමට කැමැත්ත පළ කළත්, ට්‍රම්ප් කිසිඳු අවස්ථාවක, ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ බයිඩන් යැයි පවසා නැත.
ජනාධිපතිවරණය දූෂිත යැයි චෝදනා කරමින්, ඡන්ද ප්‍රතිඵලය අභියෝගයට ලක් කිරීමට ට්‍රම්ප් නීතිමගින් කටයුතු කර තිබේ. ජනපද කීපයක ඡන්ද ගණන් කිරීම යළි සිදුවූයේ ද ඒ අනුවය. 3 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් බයිඩන් ජයග්‍රහණය ලැබූ බව පැවැසෙන්නේ, ඔහු ලබා ගැනීමට නියමිත ඡන්ද ගණන ලබාගෙන ඇති බැවිනි. නිල වශයෙන් තහවුරු නොවුණත්, බයිඩන් ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස පිළිගෙන අවසන්ය.
ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස බයිඩන් දිවුරුම් දීමට නියමිතව ඇත්තේ ලබන 2021 ජනවාරි 20 වැනිදාය. ඇමෙරිකන් ව්‍යවස්ථාව අනුව, ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන අපේක්ෂකයාට බලය පවරා දීම ඊට පෙර සම්පූර්ණ කළ යුතුය.
රාජ්‍ය පරිපාලන සේවා ආයතනයේ පරිපාලන ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ එමිලි මර්ෆි ය.
‘එමිලි මර්ෆි රාජකාරිය අකුරට කරන නිලධාරිනියක්. ඇයට නොයෙකුත් චෝදනා එල්ල වුණා. දෝෂාරෝපණ එල්ල වුණා. ඇය සහ ඇගේ පවුලේ අයට ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් හිරිහැර සිදුවුණා. ඇයට හෝ රාජ්‍ය පරිපාලන සේවා ආයතනයේ නිලධාරීන්ට හෝ කෙණෙහිලිකම් එල්ල වෙන්න දෙන්න බෑ. ඒ නිසා නඩු කටයුතු සිදුවෙමින් පැවැතියත්, බලය පැවැරීමක් කිරීමට මා එකඟ වුණා' යැයි ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩයක දැක්වෙයි.
කෙසේ නමුත් එමිලි මර්ෆි පවසා ඇත්තේ තමන් කටයුතු කරන්නේ ඇමෙරිකන් ව්‍යවස්ථාවට අනුකූලව බවය. බයිඩන් පාර්ශ්වයට බලය පැවැරීම කළේ ට්‍රම්ප්ගේ කැමැත්ත අනුව නොවන බවත් ඇය පවසා ඇත.
‘ජනාධිපතිවරණය දූෂිතයි. මාගේ විස්වාසය එයයි. ඡන්ද ප්‍රතිඵලයට එරෙහිව මා සටනක් දුන්නා. කෙසේ වෙතත්, මා රටේ යහපත ගැන හිතන්න ඕනෑ. ඒ නිසා එමිලි මර්ෆි, බයිඩන්ගේ කණ්ඩායම සමග සාකච්ඡා පවත්වා බලය පවරාදීමේ ක්‍රියාවලියට යොමු වේවි.' යැයි ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි. එමිලි මර්ෆි ජනාධිපති ධුරයට තේරි පත් වුණු ජෝ බයිඩන් වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 6.3 ක ප්‍රතිපාදන වෙන් කළ බව ද වාර්තා වේ.
0 Comments