කොවිඩ් ආසාදිතයන්ගේ මරණ ප්‍රධාන කාණ්ඩ දෙකක් මත පදනම්ව වාර්තාගත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෘජු කොවිඩ් ආශ්‍රිත මරණ සහ වක්‍ර කොවිඩ් ආශ්‍රිත මරණ ලෙස එම මරණ වෙන් කර දැක්විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.

රෝහලක ප්‍රතිකාර ලබමින් සිටීයදී මියයන කොරෝනා වෛරස් රෝගීන් සෘජුවම කොවිඩ් ආශ්‍රිත මරණ ලෙස
ගණන් ගැනෙන බවත්, සිය දිවි නසාගැනීම් ඇතුළු හදිසි මරණවල පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වද්දී සිදුකෙරෙන පී.සී.ආර්. පරීක්ෂණවලදී කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි හෙළිවන ඒවා වක්‍ර කෝවිඩ් ආශ්‍රිත මරණ සේ සැලකෙන බවත් හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වාර්තා වූ 22 වන කොවිඩ් සම්බන්ධ මරණය සම්බන්ධයෙන් සුදත් සමරවීර මහතාගෙන් කළ විමසීමකදී ඔහු මේ බව හෙළි කළේය.

දුම්රියට පැන සිය දිවි නසාගැනීමට තැත් කළ පානදුර ප්‍රදේශයේ 27 හැවිරිදි පුද්ගලයකු සිකුරාදා (30) පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණයේදී සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණය මගින් ඔහුට වෛරසය වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව, මෙරට සිදු වූ 22 වන කොවිඩ් ආසාදිත මරණය ලෙස එය වාර්තා කරනු ලැබිණි.

(විනීතා එම්. ගමගේ)