තම මල්ලි සිය දිවි නසාගත් බව පවසා සිය නිවාඩුව දීර්ඝ කර ගැනීමට යුද හමුදා කෝප්‍රල්වරයකු පොලිසියට කළ පැමිණිල්ලක් අසත්‍ය බව පරික්ෂණවල දී හෙළි වී ඇතැයි උහන පොලිසිය කියයි. මෙම පැමිණිල්ල කළ හමුදා කෝප්‍රල්වරයාට  සහෝදරයකු (මල්ලි) තොමැති බවත් ඔහුට සිටින්නේ සහෝදරියක පමණක් බවත් පොලිසිය කළ සොයා බැලීමක දී හෙළි වූ බව ද 
උහන පොලිසියේ නිලධාරියෙක්  පැවසීය. අනුරාධපුරය ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක රාජකාරි කරන  කෝප්‍රල්වරයා නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර එම නිවාඩුව අවසන් වී යළි කඳවුරට රාජකාරි වාර්තා කිරිමට යාමට නියමිතව  තිබුණේ ඊයේ (26) බවත් පොලිසිය පවසයි.  තමාගේ මල්ලි සිය දිවි නසාගත් බවත් ඒ නිසා තම නිවාඩුව දීර්ඝ කරන ලෙසත් පොලිස් පණිවිඩයක් මගින් කෝප්‍රල්වරයා රාජකාරි කරන හමුදා කඳවුරට දැනුම් දී ඔහු උහන පොලිස් ස්ථානයට පෙරේදා (25) පැමිණ ඇති බව පොලිසිය කියයි.


එවැනි පොලිස් පණිවිඩයක් හමුදා කඳවුරට ඇඳීමට ප්‍රථම එය පැමිණිල්ලක් වශයෙන් පොලිසියේ සටහන් කර ගත යුතු බව පොලිසිය ඔහුට ඒ අවස්ථාවේ දී දැනුම් දී ඇත.  මගේ මල්ලි සිය දිවි නසා ගත්තා. (නමක් ද පවසා ඇත) අම්පාර  රෝහලේ මෘත ශරීරාගාරයේ තිබුණ සිරුර මල් ශාලාවකට අරගෙන ගියා. මගේ නිවාඩුව දික් කර ගන්න   හමුදා කඳවුරට දැනුම් දෙන්නයි  මේ  පැමිණිල්ල කරන්නේ යැයි හමුදාවට කෝප්‍රල්වරයා පැමිණිල්ලක් වශයෙන් පොලිසියේ සටහන් කර ඇත්තේ ඒ අවස්ථාවේ දීය. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතාට සැකයක් ඇති වූ හෙයින් ඔහු අම්පාර රෝහලට දුරකතනයෙන් කතා කර මේ ගැන සොයා බැලූ අවස්ථාවේ එවැනි කෙනකු සියදිවි නසා ගෙන නැති බව දැනගැනීමට ලැබී ඇත. අසත්‍ය පැමිණිල්ලක් කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කටයුතු කළ පොලිසිය හමුදා කෝප්‍රල්වරයා පසුව බැඳුම්කරයක් මත මුදාහැර අධිකරණයේ නඩු පැවරීමට කටයුතු යොදා ඇති බව ද පොලිසියේ නිලධාරියෙක් පැවසීය.


-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය -