වත්තල පල්ලිය පටුමගේ කම්කරු නිවාස සංකීර්ණයෙන් කොරෝනා රෝගීන් 35 දෙනකු හමුවීමත් සමග එම නිවාස සංකීර්ණය හුදෙකලා කිරීමට පියවර ගත් බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි යු. ඇසෙන්ටා මහත්මිය පැවසුවාය.

මීට පෙරද වත්තල පල්ලිය පටුමගේ එක් කොටසක් හුදෙකලා කර තිබූ අතර කොරෝනා රෝගී තත්ත්වය සමනය වීම නිසා හුදෙකලා  තත්වයෙන් නිදහස් කෙරිණි.  වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා
ආසාදිතයින් දිනෙන් දිනම වැඩිවන්නට පටන්ගත් නිසා, මේ වනවිටත් වත්තල පොලිස් බලප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා තිබේ. වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා වසංගතය පැතිර යෑමට හේතු වූයේ බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසලේ ආශ්‍රිතයින් නිසාය.


ඊයේ (23) සවස් වනවිට වත්තල  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ කොරෝනා රෝගීන් 895 ක් වාර්තා විය. කොරෝනා රෝගීන්ගෙන් 360 ක් පමණ සුව වී ඇතැයිද වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය වැඩිදුරටත් පැවසීය.  දැනට කොරෝනා රෝගීන් වාර්තා වන්නේ වත්තල පල්ලිය පටුමගේ කම්කරු නිවාස සංකීර්ණයෙන් හා හැඳල 1 සහ හැඳල II ග්‍රාම නිලධාරි කොට්ඨාසවලින් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරිය පැවසුවාය.


 -සරත් චින්තක-