හදිසි අවශ්‍යතාව මත කොවිඩ් ආසාදිත පිරිමි රැඳවියන් සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙන්  කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ල මහත්මිය ඊයේ (9) පැවසුවාය.
එහි දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගී රැඳවියන් 150 දෙනෙකු පමණ ඊයේ (9) සිට මහර බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට පියවර ගත් බවද ඇය කීවාය.

මරණ දඬුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර යන දෙදෙනාත් සිරදඬුවම් විඳින තංගල්ල ප්‍රාදේශීය හිටපු සභාපති සම්පත් විදානපතිරණ, මේජර් (විශ්‍රාමික) අජිත් ප්‍රසන්න ඇතුළු කීපදෙනකුම මේ වනවිට  බන්ධනාගාර රෝහලේ නේවාසිකව හිඳින බවද වාර්තාවේ.


කොවිඩ් ආසාදිත වන කාන්තා රැඳවියන් සඳහා මින් ඉදිරියට පල්ලන්සේන පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙන්කර ඇති බවද දැනට කොවිඩ් ආසාදිත කාන්තා රැඳවියන් 93 දෙනකු පමණ වැලිකන්ද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යවා ඇතැයිද රාජ්‍ය ඇමතිවරිය සඳහන් කළාය.


 -ජයන්ත සමරකෝන්-