COVID-19 එන්නන් සඳහා වූ සායනික අත්හදා බැලීම් එකක් හෝ දෙකක් ඵලදායී බව සොයාගත් පමණින් එන්නත් සඳහා සිදු කෙරෙන අත්හදා බැලීම් නතර නොකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සජීවී ප්‍රශ්නෝත්තර සාකච්ඡාවකට එක්වෙමින් වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් මෙම අදහස් පළ කළාය.

"එන්නත්වල සායනික අත්හදාබැලීම් හා පර්යේෂණ දිගටම පවත්වාගෙන යෑම අතිශය වැදගත්.
මන්දයත්, 'අහ්... දැන් අපට එන්නත් එකක් හෝ දෙකක් තියෙනවා. දැන් අප සියල්ල නවතා දැමිය යුතුයි" කියා අප හැමෝම නොසිතිය යුතුයි. නැහැ. ඇත්තටම අපට තවත් එන්නත් අවශ්‍යයි. අපට පසු විපරමක් අවශ්‍යයයි.” වෛද්‍ය ස්වාමිනාදන් කියා සිටියාය.

එහිදී වෛද්‍ය ස්වාමිනාදන් පැවසුවේ සමහර එන්නත් විවිධ ජන කණ්ඩායම් තුළ වඩා හොඳින් ක්‍රියා කළ හැකි බවය.

"සමහර එන්නත් වැඩිහිටි පුද්ගලයන් තුළ වඩා හොඳින් ක්‍රියා කරන්න පුළුවන්.”

"සමහර ඒවා ගර්භණී කාන්තාවන්ගේ භාවිතය සඳහා ආරක්ෂිත විය හැකියි."


"සමහර එන්නත් අනෙක් එන්නත්වලට වඩා දීර්ඝකාලීන ආරක්ෂාවක් සපයන්න පුළුවන්."

"අපි සායනික අත්හදා බැලීම් හා පර්යේෂණ සිදු කරමින්, ඒවා ලබාදෙන මිනිසුන් පිළිබඳ අවධානයෙන් සිට දත්ත රැස්කිරීමකින් තොරව අත්තටම අපට මේ දේවල් දැනගන්නට ලැබෙන්නේ නැහැ."

මෙම වසංගතය හමුවේ ගෝලීය වශයෙන් බොහෝ දෙනා ස්වේච්ඡාවෙන් මෙම සායනික අත්හදාබැලීම් හා පර්යේෂණවලට සහභාගී වීම දැකීම සතුටක් බව ඇය පැවසුවාය. "එය ඇත්තෙන්ම ඔවුන්ගේ පරාර්ථකාමීත්වය නිසාම සිදු කරන දෙයක්.” ඇය කීවාය.

මෙසේ එන්නත් සම්බන්ධයෙන් සුබවාදී පණිවුඩ ලැබෙමින් තිබුණත්, COVID -19 වෛරසයට එරෙහිව මුඛ ආවරණ භාවිතය, නිතර දෑත් සේදීම සහ සමාජදුරස්ථ බව ආරක්ෂා කිරීම් වැනි වසංගතය වැළැක්වීමේ පියවර තව දීර්ඝ කාලයක් පවත්වාගෙන යා යුතු බවද වෛද්‍ය ස්වාමිනාදන් සඳහන් කළාය.

"අපේ අපේක්ෂාවන් යථාර්ථවාදීව තබා ගැනීම ඇත්තෙන්ම හොඳ යැයි මා විශ්වාසය කරනවා. එනනත් පිළිබඳ තවත් හොඳ ආරංචි අපට ලැබෙනු ඇතැයි කියා අප බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් මේ එන්නත් ලෝකයේ සියලු රටවලට ගෙනයාමට නම් නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවිය යුතුයි. එහිදී ප්‍රමාණවත් පිරිසකට එන්නත් ලබාදෙමින් පූර්ව COVID-19 යුගයක් සඳහා ලෝකය යෑමට තවත් කාලයක් ගතවන බවද අප සිතේ තබාගත යුතුයි.” වෛද්‍යා ස්වාමිනාදන් වැඩිදුරටත් පවසා සිටියාය.
- නරේන් විශ්වජිත් -