ලෝක සෞඛ්‍ය සංවිධානයේ සතිපතා COVID-19 යාවත්කාලීන කිරීම අනුව, නොවැම්බර් 1දා වනවිට ගෝලීය වශයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූවන් මිලියන 46ක් සහ මරණ මිලියන 1.2ක් වාර්තා වී ඇති බව නිවේදනය කරයි.එහිදී මෙම ආසාදිතයන්ගේ වයස සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ විශ්ලේෂණයකින් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, වර්තමානයේදී වසංගත කාලය තුළ තරුණ තරුණියන් වැඩි වශයෙන් නව කොරෝනා වෛරසයට ගොදුරු වීමක් දැකිය හැකි බවය.


ඒ අනුව වයස අවුරුදු 15ත් 24ත් අතර වසංගතයේ ආරම්භක අවධියේදී 4%ක් වූ ආසාදන අනුපාතය මේ වනවිට 14%ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම අවුරුදු 25ත් 64ත් අතර ආසාදන අනුපාතය මේ වනවිට 50% සිට 65%ක් දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් අවුරුදු 65 සහ ඊට වැඩි අය අතර, ආසාදන අනුපාතය 40% සිට 15% දක්වා පහළ යෑමක් වර්තමානයේදී දැකිය හැකි වීම කැපී පෙනෙන වෙනසක් බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මෙහිදී වෛරසයෙන් තරුණ ප්‍රජාව කෙරෙහි ඇති කළ හැකි දිගුකාලීන බලපෑම් ගැනද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි අවධානයක් යොමුකර තිබේ.

තරුණ තරුණියන්ද ඇතුළුව කොරෝනා වෛරසයේ දිගුකාලීන බලපෑම් පිළිබඳ වැඩි වන වාර්තා ද ලෝක සෞඛ්‍ය සංවිධානය සටහන් කරයි.

මේ අතර වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ සාමාන්‍ය වයස් පරාසය ආරම්භයට වඩා පසුගිය කාලසීමාවේදී පහළ වයස් කාණ්ඩ දක්වා විතැන් වෙමින් පවතින බව තවත් දත්ත වාර්තාපෙන්වා දෙයි. එහිදී මැයි මාසයේ මධ්‍ය වයස් සීමාව අවුරුදු 46ක් වූ අගය, ජූලි වනවිට අවුරුදු 36ක් දක්වා පහළ ගොස් තිබේ. එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පසුගිය සැප්තැම්බර් මාසයේ නිකුත් කළ වාර්තාවකට අනුව, අගෝස්තු වනවිට එක්සත් ජනපදයේ තහවුරු වූ සෑම ආසාදිතයන් පස්දෙනෙකුගෙන් අයෙක් වයස අවුරුදු 20 ගණන්වල පසුවූවන් ලෙස සැලකෙයි.
- නරේන් විශ්වජිත් -