කොරෝනා දෙවැනි රැල්ලට මුහුණ පා සිටින යුරෝපා රටවල වැසියන් පරෙස්සම් නොවුණහොත්, වයිරසයේ තෙවැනි රැල්ලක් හටගනු ඇති බවත්, එම තෙවැනි රැල්ල වඩාත් බිහිසුණු ස්වරූපයක් ගනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (23) අනතුරු ඇඟවීය.ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් මෙසේ අනතුරු ඇඟවූයේ ‘කොවිඩ් 19' ගෝලීය ව්‍යාප්තිය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ වෛද්‍යවරයකු ද වන ඩේවිඩ් නබාරෝය. ඒ, ජීනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ පැවැති දෛනික මාධ්‍ය හමුවේදීය.

‘යුරෝපා රටවල කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල පැතිරෙනවා. එය හැකි ඉක්මණින් පාලනය කර ගන්න ඕනෑ.
සෞඛ්‍ය උපදෙස් තැකීමක් නොකර කටයුතු කරනවා නම්, සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නැතිනම්, තෙවැනි රැල්ලක් නිර්මාණය වේවි. ඒක දෙවැනි රැල්ලට වඩා බිහිසුණු වේවි' යැයි ඩේවිඩ් නබාරෝ ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අවධාරණය කළේය.

ලොව පුරා කොවිඩ් 19 ආසාදිතයන් ගණන ඊයේ (23) වෙද්දී 58,987,000 දක්වා ඉහළ ගියේය. මරණ වාර්තා වූයේ 1,393,700 ක් ලෙසය. වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 40,767,500 කි. යුරෝපා රටවල් අතරින් වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ප්‍රංශයෙනි. ප්‍රංශයේ ආසාදිතයන් ගණන 2,140,200 කි. මරණ වාර්තා වන්නේ 48,732 ක් ලෙසය. ස්පාඤ්ඤයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 1,589,219 ක් වන අතර මරණ වාර්තා වන්නේ 42,619 ක් ලෙසය. මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 1,512,045 කි. බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන මරණ 55,024 කි. වයිරස ආසාදිතයන් වාර්තා වෙද්දී, මහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය දෙසැම්බරය තෙක් රට ලොක්ඩවුන් කිරීමට ද පියවර ගෙන තිබේ.

චීනයෙන් ආරම්භ වුණු කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය, ලොව පුරා ව්‍යාප්ත වෙද්දී, වයිරසයෙන් මුලින්ම දරුණු ලෙස බැට කෑ රටක් වන්නේ ඉතාලියයි. මේ වනවිට ඉතාලිය කොරෝනා දෙවැනි රැල්ලට මුහුණ පා සිටී. ඊයේ (23) වනවිට ඉතාලියේ කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 14 පසු කළේය. ඒ, ගතවුණු පැය 24 ඇතුළතදී, නව ආසාදිතයන් 28,337 ක් වාර්තා වීමත් සමගය. ඉතාලියෙන් වාර්තා වන මරණ 49,823 කි.