මෙවර දිවයින පුරාම උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන් බොහොමයකට විශාල අසාධාරණයක් වී ඇති බව අපට දැනගන්නට ලැබුණා. ඒ දිවයින පුරාම නව හා පැරණි විෂය නිර්දේශ  දෙකෙන්ම ජීව විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් AAA සාමාර්ථ ලබාගත් සිසුන් සහ එම AAA සාමාර්ථ ලබාගත් සිසුන්ටත් වඩා ඉහළ Z ලකුණක් හිමි AAB සාමාර්ථ ලබාගත් සිසුන් කොටසකට වෛද්‍ය පීඨ සුදුසුකම් තිබුණද එම වරම් අහිමි වී තිබීමයි. මෙතෙක් කාලයකට මහනුවර හා ගාල්ල වැනි දිස්ත්‍රික්ක වලින් AAA ලබාගත් සිසුවෙක්ට වෛද්‍ය පීඨ වරම් අහිමිවී නැත.
පුදුම සහගත කරුණ නම්, මෙවර වෛද්‍ය පීඨ ප්‍රවේශ සංඛ්‍යාව 371කින් ඉහල දමා තිබියදීත් ඉහත කී දිස්ත්‍රික්ක වලින්ද AAA ලබාගත් සිසුන්ට පවා වෛද්‍ය පීඨ ප්‍රවේශ වරම් අහිමි වී පශු වෛද්‍ය විද්‍යාව, physiotherapy සහ molecular biology   වැනි පාඨමාලා හිමිවීමයි.

මෙවර Z අගයන් නව හා පැරණි විෂය නිර්දේශ දෙකට කණ්ඩායම් දෙකක් ලෙස වෙන වෙනම ලබාදුන් නිසා එම විෂය නිර්දේශ දෙකෙහි Z අගයන් කිසිසේත්ම සංසන්දනය කළ නොහැක. මෙයට හේතුව නම් පැරණි නිර්දේශ සිසුන්ගේ මධ්‍යනය ඉහළ බැවින් Z අගය නිරායාසයෙන්ම අඩු වීමත්, නව නිර්දේශ සිසුන්ගේ මධ්‍යනය අඩු බැවින් Z අගය නිරායාසයෙන්ම වැඩිවීමත් වේ. මේ පිළිබඳව ප්‍රවීණ භෞතික විද්‍යා මහාචාර්යවරයෙක් වන එස්.ආර්.ඩී. රෝසා මහතාගේ 2012 උසස්පෙළ භෞතික විද්‍යා විවරණ ග්‍රන්ථයෙහිද පැහැදිලි කර ඇත. 

රජයේ වෛද්‍ය විද්‍යාල වලට දක්ෂ සිසුන් බඳවා ගැනීමට කිසියම් හෝ ක්‍රමවේදයක් තිබිය යුතුමය. පවතින ක්‍රමවේදය යටතේ ඉහළ ලකුණු ලබා උපරිම ප්‍රතිඵල හිමි දක්ෂ සිසුන් විශාල ප්‍රමාණයකට වෛද්‍ය පීඨ වරම් අහිමි වන බැවින් වහාම එම ක්‍රමය නිවැරදි කිරීම බලධාරීන්ගේ වගකීමයි.

වෛද්‍ය පීඨ ප්‍රවේශ වරම් අපේක්ෂා කරන සිසුන් ජීව විද්‍යා විෂය ධාරාව හදාරා ඉමහත් කැපකිරීම් ක‍ර ලබාගත් පසුවත් තවත් කුමක් නම් කළ ‍යුතුද ?


මෙම දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් සම්පුර්ණයෙන්ම වලපල්ලට ගොස් ඇත. ඔබ නිකමට සිතන්න මෙම දරුවන්ගේ මානසික මට්ටම කෙසේ ඇතිද ? 

මහනුවර, ගාල්ල හා කොළඹ යන දිස්ත්‍රික්ක වල ප්‍රතිශත වල සිදුවී ඇති අක්‍රමිකතා හේතුවෙන් පැරණි නිර්දේශයේ ඉහළ ප්‍රතිඵල හිමි වෛද්‍ය පීඨ වරම් හිමි විය යුතු සිසුන් ප්‍රමාණයකට, වෛද්‍ය පීඨ වරම් අහිමි වී ගොස් ඇත. ඒ වෙනුවට වෙනත් පාඨමාලා ලැබීම හේතුවෙන් වෙනත් කුමන හෝ පාඨමාලාවක් සදහා විශ්ව විද්‍යාල වරම් අපේක්ෂාවෙන් සිටි සිසුන් හට (BBC වැනි ප්‍රතිපල හිමි සිසුන් හට) කිසිදු විශ්වවිද්‍යාල පාඨමාලාවක් සදහා තේරී පත්වීමේ අවස්ථාව අහිමි වී ඇත.

2006 දී රජරට වෛද්‍ය විද්‍යාලය විවෘත කළේ කඩඉම් ලකුණු නිකුත් වූ පසු පැනනැගුණු ගැටළු හේතුවෙනි. එම වර්ෂයේදී රජරට වෛද්‍ය විද්‍යාලයට සිසුන් 170ක් පමණ බඳවාගෙන ඇත. එවකට කුරිරු යුද්ධයේ උච්චතම අවස්ථාවක වුවද දරුවන්ට සාධාරණය ඉටුවිය. 2006 වසරේදී මෙන්ම 2011 වසරේදීත් ද්විත්ව නිර්දේශ සම්බන්ධ ගැටලුවේදී වෛද්‍ය පීඨ සදහා විශේෂ බඳවාගැනීම් සිදුකොට ඇත.

එම නිසා ඉහත කී වසර වලදී මෙන්ම මෙම වසරේදීත් විශේෂ බඳවාගැනීමක් යටතේ (Special Intake) නව හා පැරණි නිර්දේශ දෙකෙහිම AAA සාමාර්ථ ලබාගත් සිසුන් සහ එම AAA සාමාර්ථ ලබාගත් සිසුන්ටත් වඩා ඉහළ Z ලකුණක් හිමි AAB සාමාර්ථ ලබාගත් සිසුන්හට වෛද්‍ය පීඨ වරම් ලබාදී සාධාරණයක් ඉටුකළ හැකි නොවේද ?. එමනිසා මෙය කඩිනමින් විසඳාදීම බලධාරීන්ගේ වගකීමකි.