රත්නපුර දිස්ත්‍රික්කයේ කෝවිඩ් පතිරයාමේ අවදානම තවමත් ඉහළ මට්ටමක පවතින අතර ඇහැළියගොඩ, කුරුවිට, කිරිඇල්ල, අයගම සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහ අධිඅවදානම් තත්වයේ පවතින බව නිවේදනයක් නිකුත් කරමින් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ඊයේ (13) සදහන් කළාය.


කෝවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයන් 485ක් පෙරේදා (12දා) වනවිට රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර සුවය ලබා ඇත්තේ 151ක් පමණක් බවද දිස්ත්‍රික්  ලේකම්වරියගේ නිවේදනයේ දැක්වේ.

දිවුරුම්පිටිය අගලුම් පොකුරෙන් වැඩි ආසාදිතයන් ගණනක් පෙන්නුම් කරන අතර අධි අවදානමට ලක්ව ඇත්තේ මෙම ඇගලුම් කර්මාන්තශාලාවේ සේවය කරන සහ ඔවුන්ගේ පළමුපෙළ ආශ්‍රිතයින් වෙසෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවේ.

ඇඹිලිපිටිය සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක මධ්‍ය අවදානම් මට්ටමින් පවතින අතර නිවිතිගල, පැල්මඩුල්ල ඉඹුල්පේ, බළන්ගොඩ, ඕපනායක, වැලිගෙපොල, කහවත්ත, ගොඩකවෙල, කොළොන්න සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අඩු අවදානම් බවද දිස්ත්‍රික් ලේකම්වරිය නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

ස්වයං නිරෝධායනයට ලක්කර ඇති පවුල් සහ පුද්ගලයන්ගේ සංඛ්‍යාව පෙරේදා (12දා) වනවිට සැලකිය යුතු අඩුවක් පෙන්වන බවත් එදින වනවිට පවුල් 925ක පුද්ගලයන් 3791 දෙනෙක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

මේ අතර කුරවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සූදාගල ප්‍රදේශයෙත් එකම පවුලේ තිදෙනකුට කෝවිඩ් 19 ආසාදිත බව තහවුරුවීමෙන් පසු ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර පලමුපෙළ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට ලක්කළ බවද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේය.

දිවුරුම්පිටිය ඇගලුම් පොකුරට අයත් ආසාදිතයකුගෙන් මෙම තිදෙනාට වෛරසය ආසාදනය වන්නට ඇතැයි සැකකරයි.

මේ අතර කුරවිට හා සහිරා මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ තවත් ගුරුවරුන් තිදෙනෙක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ඔවුන් ආසාදිතයන්ගේ පළමුපෙළ ආශ්‍රිතයන් බවට හඳුනාගැනීමෙන් පසු මෙසේ නිරෝධායනයට ලක්කර ඇත.

රාජකාරිය සඳහා පාසලට පැමිණීමෙන් පසු එකට සහ සමුහ වශයෙන් ආහාර ගැනීමෙන් වලකින ලෙසත් කෑම ගන්නා පිගන් කෝප්ප හුවමාරු කරගැනීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය බලධාරීන් ගුරුභවතුන්ගෙන් විශේෂ ඉල්ලීමක්ද කරයි. මේ අතර ර/සූදාගල විදුහලේ විදුහල්පති ලාල් පැලෑදගම මහතා ෆේස්බුක් සටහනක් තබමින් ඇගලුම් කර්මාන්තශාලාවල සේවය කරන අය ඔවුන් වැඩට යන බස් සහ වෑන් රථවලින් තම දරුවන් පාසල් කැන්දන් ඒම නොකරන්නැයි  ඉල්ලීමක් කරයි.

ආයතනවල සේවකයන් ප්‍රවාහනය කරන බස් රථවලින් උදෑසන දරුවන් නංවාගෙන පාසල් ළඟින් බස්සවා යාම ඇතැම් ඇගලුම් සේවකයින් තම පහසුව පිණිස කරන අතර මේ වකවානුවේ එය දැඩි අවදානම් නිසා මෙම ඉල්ලීම කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
- අජිත්ලාල් ශාන්තඋදය -