ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව ලෙස  සැලකුණ කළුතර වාසය කළ වේලු පාප්පානි මාතාව ඊයේ ජීවිතයෙන් සමුගත්තාය. කළුතර දිස්ත්‍රික්කයේ, දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්  ක්ලෝඩන් වත්තේ හෙදරලිය කොටසේ ජිවත්වූ වේලු පාප්පානි මාතාව 1903 මැයි 03 වැනිදා උපත ලද බවට ජාතික හැඳුනුම්පත හා වැඩිහිටි සහතිකයක් මගින් තහවුරුවී තිබුණි.

දෙදරු මවක වූ බව කියන  ඇය අවසන් කාලයේ සිය මිනිපිරියක විසින් බලා කියාගනු ලැබිණි.


ඇය 117 වයසේ සිටියත් ඇය හොඳ ශරීර සෞඛ්‍යයෙන් වාසය කළ බව වාර්තා විය. ඇයට කිසිදු බෝ නොවන රෝගයක් නොතිබූ බවද එවැනි අසනීප සඳහා කිසිදු ඖෂධයක් ලබාගනිමින් නොසිටි බවද වාර්තා විය.
ආහාර ගැනීමේ දුෂ්කරතාවක් හේතුවෙන් දෙසැම්බර් 29 වෙනි දින උදය වරුවේ නාගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබූ ඇය, රාත්‍රී හතට පමණ සිය දීර්ඝ ජීවිත චාරිකාව අවසන් කොට තිබේ.
ඇය ලංකාවේ වයස්ගතම මාතාව බව සඳහන් කරමින්, වැඩිහිටියන් සඳහා වූ ජාතික සභාවේ ලේකම්වරයාගේ සහ සභාපතිගේ අත්සනින් යුතුව 2019 ඔක්තෝම්බර් 01 දා ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී සහතිකයක් ද පිරිනමන ලදි.