නිධානයක් සොයා දෙන බව පවසා රුපියල් 1,250,000ක මුදලක් වංචා කළ යකැදුරෙකු හා ගෝලයකු අත්අඩංගුවට ගැනීමට විමර්ෂශනයක් ආරම්භ කොට ඇතැයි පිටිගල පොලීසිය පවසයි. ඉදිපළේගොඩ ප්‍රදේශයේ දොළ මාර්ගයක නිධානයක් ඇති බව පවසමින් එම ප්‍රදේශයේ තරුණයන් 04 දෙනෙකු විසින් මෙම යකැදුරා ගෙන්වා ඔහුට නිධානය ලබා ගැනීමට භාරදී ඇති බව පොලීසිය පවසයි.
සැකකරු නුවර ප්‍රදේශයේ පදිංචි අයෙකු බව පැවසෙන අතර ඉදිපළේගොඩ ප්‍රදේශයේ තරුණයකු විසින් මෙකී කපුවා සම්බන්ධ කර දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මීට සති දෙකකට පමණ ඉහතදී කපුවා හා ගෝලයකු ඉදිපළේගොඩ ප්‍රදේශයට පැමිණ දොළ මාර්ගයේ තිබෙන බව කියන නිධානය ලබා ගැනීමට කටයුතු කර ඇත.
කපුවාට ඒ වෙනුවෙන් තරුණයන් සිවුදෙනා එකතු වී රුපියල් 1,250,000ක මුදලක් එකතුකොට ලබා දී ඇත. ඉන් පසු කපුවා දොළයට කිමිදී ව්‍යාජ මැණික් කැට 04ක් බුදු පිළිමයක් හා සෙම්බුවක් මොවුන්ට ලබා දී තිබේ.
පසුව මෙකී මැණික් ගල් 04 රැගෙන මෙම තරුණයන් සිවුදෙනා ඒවා විකිණීමට ගිය අවස්ථාවේ මෙකී මැණික් ගල් ව්‍යාජ ඒවා බවට අනාවරණය වී ඇත. මේ අතර දින කිහිපයකට පමණ පසු මින් එක් තරුණයකු හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා මියගොස් ඇති බවද පොලීසිය පවසයි. පිටිගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් කරුණාරත්න, පො.ප. සෙනෙවිරත්න යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ පරික්ෂණ පවත්වති.
- ජිනේෂ් නානායක්කාර -
0 Comments