රත්නපුර දිස්ත්‍රික්කයෙන් දෙසැම්බර් මාසයේ මුල් දින පහ තුළ කෝවිඩ් - 19 ආසාදිතයන් 126 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, ඉන් 104ක් වාර්තා වූයේ මුල් දින තුන තුළදී බවත් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.


ඉන් ආසාදිතයන් 98ක් ඇහැලියගොඩින් සහ 20ක් කුරුවිටින් බවද දිස්ත්‍රික් ලේකම්වරිය පෙන්වා දුන්නාය. රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 1157ක පුද්ගලයන් 4808ක් මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත්, මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති සමස්ත කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 397ක් බවත් දිස්ත්‍රික් ලේකම්වරිය ප්‍රකාශ කළාය. ඉන් සුවය ලබා ඇත්තේ 130ක් පමණක් බවද ඒ මහත්මිය පෙන්වා දුන්නාය.

ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 267ක් වන අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 17න් ඇහැළියගොඩ සහ කුරුවිට කොට්ඨාස දෙකෙන් දෙසැම්බර් මාසයේ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් හමුවී ඇති බවද ඒ මහත්මිය පැවසුවාය. ඒ අතර රත්නපුර සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලද කෝවිඩ් - 19 පැතිර යාමේ දැඩි අවදානමක් ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවාය.

දැනට වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් තවමත් ප්‍රතිකාර ගනූයේ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි. එය 155ක්. එම කොට්ඨාසයෙන් වාර්තා වූ මුළු ආසාදිත සංඛ්‍යාව 181ක් වූ අතර, සුව වී ඇති සංඛ්‍යව 26කි.

බන්ධනාගාරය තුළින් හඳුනාගත් ආසාදිතයන් 31ද සමග කුරුවිට කොට්ඨාසයෙන් වාර්තා වූ මුළු ආසාදිතයන් 90ක ප්‍රමාණයෙන් සුවය ලබා ඇත්තේ 16කි. 74ක් තවමත් ප්‍රතිකාර ලබති.

රත්නපුර කොට්ඨාසයේ රෝගීන් 19ක් තවම ප්‍රතිකාර ලබන අතර, ආසාදිතයන් 35ක් වාර්තාවූ රත්නපුර කොට්ඨාසයේ 16ක් මේ වනවිට සුවය ලබා ඇත.

කිරිඇල්ල කොට්ඨාසයේ ප්‍රතිකාර ලබනුයේ 13කි. එම කොට්ඨාසයෙන් වාර්තා වූ 38න්  25ක්ම සුවය ලබා ඇති අතර, බළන්ගොඩ කොට්ඨාසයෙන් වාර්තා වූ ආසාදිතයන් දෙදෙනා තවමත් ප්‍රතිකාර ලබයි.

අයගම කොට්ඨාසයේ ප්‍රතිකාර ලබනුයේ එක් අයෙකු පමණක් වන අතර, වාර්තා වූ ගණන 31කි. ඉන් 30ක්ම සුවය ලබා ඇත. කහවත්ත, ඇලපාත, ගොඩකවෙල, ඕපනායක, පැල්මඩුල්ල, ඉඹුල්පේ, ඇඹිලිපිටිය, නිවිතිගල යන කොට්ඨාසවලින් වාර්තා වූ විසි දෙදෙනාම මේ වනවිට සුවය ලබා ඇත.

කලවාන, කොලොන්න සහ වැලිගෙපොල යන කොට්ඨාසවලින් ආසාදිතයන් මෙතෙක් වාර්තා වී නැති බවද දිස්ත්‍රික් ලේකම්වරිය පවසන්නීය. රත්නපුර දිස්ත්‍රික්කයේ ස්වයං නිරෝධානයට ලක්වන පිරිස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙසේය. ඇහැළියගොඩ 2098, කුරුවිට 1357, රත්නපුර 369, කිරිඇල්ල 333, බළන්ගොඩ 139, පැල්මඩුල්ල 131, අයගම 86, ඇඹිලිපිටිය 73, ගොඩකවෙල 46, නිවිතිගල 43, කොලොන්න 34, ඇලපාත 26, ඕපනායක 23, වැලිගෙපොළ 17, ඉඹුල්පේ 14, කහවත්ත 10, කලවාන 10.

- අජිත්ලාල් ශාන්තඋදය -